Saturday, October 11, 2014

නූතන යසෝදරා වත ....!

හතර පෙරනිමිති
හතරවටින්
කලක හිටන් මට පෙනුණට
පස්මහ බැළුම් උඹ
බලන බව දැනුණෙ නෑ
පුර පෝය දවසට
පස්සෙ දොහේ
යන්ට ගියා
කිරි සප්පයව තනිකරල
තනියම නෙවෙයි
හන්දියෙ රෙදිසාප්පුවෙ
වැඩට ආපු
සුමන එක්ක
විමුක්තිය හොයාගෙන
උඹ ගියාම මම ඇඬුවට
පොඩි උන් දෙන්නගෙ
බඩ පිරෙන්නෙ නෑ
කිරිසප්පය මං දිය වෙනකං
තනේ ඉරුවට
කිරි කඳුලක් එන්නැතුවැති

කන්ට ලැබෙන කොයි දේවත් රසවේවා
ලිඳේ දියට තන කිරි තව වැඩි වේවා
අනේ පැටවුනේ කුස ගිනි නැති වේවා
ගුනේ කළ පිනෙන් උඹ මතු බුදු වේවා

නැහිල නැහිල දරුවො හදල
නොවිඳිනා දුක් වින්ද
මටත් කලින්
මේ ගිහිගෙය
උඹට එපා වුණේ මන්ද ?

තණ්හා රති රඟා
මාරදූවරු
සුමනගෙ හෙවණෙ
දැවටෙනව
හීනෙන්වත් ඇහැ ගැ‍ටුණද

සත්මාල් පායේ රස මසවුළු
පිහාගෙන උඹල වළඳනවැති
ඒත් මේ කිරිසප්පයින්ට
කිරි පිඬක් දන් දෙන්න
විසාකාවක්වත්
මේ අහලක නෑ ගුණේ

සුවඳ බොජුන් වලඳන මගෙ හිමි සඳුට
නිබඳ බොජුන් රසකර දුන් වලඳන්ට
බඩ සායෙන් හඬනා මේ පැටවුන්ට
බොන්න වහක් වත් එවපන් මියයන්ට

^සූ

No comments:

Post a Comment

hi