Thursday, April 25, 2013

නිහඬතාවය....හරිම මිහිරී....!!!


මලක් ගැහුවමනම්
මම ඔයව
හම්බවෙන්න
ආසයි...
මතට හීනිවෙච්ච
ඇස් වලින්
ඔයා දිහා බැලුවම
ඔයා අහනව..

"ඇයි ඔය විදිහට
මාදිහා බලන්නෙ"

"ඒ ඔයා ගැන
තියෙන ආදරේට"

Wednesday, April 24, 2013

හැඟුම් බර කවි සිතක සෙනෙහෙබර ආමන්ත්‍රණය.....


හැඟුම් බර කවි සිතක සෙනෙහෙබර ආමන්ත්‍රණය.....
අප්‍රේල් මස 26 වන සිකුරාදා
ශ්‍රී ලංකාවේ වේලාවෙන් රෑ 9.00 ට....ලන්ඩන් වේලාවෙන් රෑ 10.00. ට...."කවි සිතක් අද්දර..."
සොඳුරු කවි සිත......සුරංග ලක්මාල් කිවිඳුන්.......සඳස රේඩියොවෙන්....
http://www.youtube.com/watch?v=qkYw2a8c1ks

http://sandasaradio.lk/

Saturday, April 20, 2013

හීන නැවත තනමු...

දකින හීන
බිඳ වැටේවි
දුක හිතේවි
නෙතින් කඳුළැලි
සැලේවි
එහෙත් අපි හීන
දකිමු......
ඒ හීන
අපව ජීවත් කරාවි...
හිරු නැගේවි
මල් පිපේවි
ඒ මලුත් පරවේවි
එහෙත් අපි හීන දකිමු..

Thursday, April 11, 2013

අහිමි උණුහුම…………



වහිනවට මං හරි ආසයි, ඒ වැස්සෙ හඬ මට පුදුම තරම් සුන්දරත්වයක් හිතට අරගෙන එන්නෙ, වෙනදට මං වහිනකොට ඇස්දෙක පියාගෙන මුළු හදින්ම වැස්ස එක්ක අවනතවෙලා සංගීතයක් වගේ දැනෙන ඒ හඬට සවන්දෙනව.. පුදුම සතුටක් සැහැල්ලුවක් හිහට දැනෙන්නෙ. ඒත් ඒ සතුට සැහැල්ලුව මගේ හිතින් යන්න ගිහිල්ල . දෙනොදාහක් ගැවසුණ කුරු‍ටු මතක ඉතිරි කරල ගිය හොස්ටල් කාමරේ, කවදාවත් මට තනියක් නොදැනුණ කාමරේ, මහා මූසලම මූසල පාලුවකින් පිරිල. හිතට දැනෙන වේදනාව තවතවත් හන්තානෙ හීතල වැඩිකරනවා. මේ සරසවිය පුරාවටම ඔයා මට ඉතිරි කරපු මත , බලන බලන තැන මාව අරගෙන යන්නෙ ඔයාගෙ ළඟටමයි. ඒ මතක තව තවත් මාව වේදනාවේ පතුළටම ඇදගෙන යනවා. මම ඉවසගන්නම බැරිතැන දිගට වැවිල තිබ්බ කොණ්ඩෙ වැරෙන් ඇදගෙන ඇදගෙන ගියා. ඇ‍ඳෙන් නැගිටල ගිහින් පුළුවන් තරම් හයියෙන් කාම්රේ බිත්තියෙ ඔලුව හප්පගෙන හප්පගෙන ගියා, නිලංකාරවෙන දෑස් අතරෙත් මට මැවිල පේන්නෙ ඔයාගෙ රූපෙමයි, ඒත් මං තව තවත් ඔලුව බිත්තියෙ හප්පගෙන ගියෙ මුළු හොස්ටල් එකම දෙදරන්න. ඒ එක්කම මට වාරු නැතිව එහෙමම බිම ඉන්දවුණා... ඔලුව පුපුරු ගහද්දි එලියෙ වැස්ස වගේම සැරට ඇස් දෙකෙන් කඳුළු කඩන් වැ‍ටුණ. මට ඒත් වේදනාවක් දැනුණෙ නෑ ඊට වඩා මගේ හිතේ තිබ්බ ගින්දර ගිනි කඳක් වගෙ ඉහලට මතුවෙමින් මාව ගිලගනිමින් තිබුණ , මේ සේරම මගේ වැ‍රැද්ද........... මං ආයාසයෙන් නැගිටල අමාරුවෙන් ඇඳට නැගල ඉඳගත්ත.... දැස්දෙකේ පිරෙන කඳුළු කම්මුල් දිගේ ගලාගෙන හැලුණා .. ඒ කඳුළු වල මට දැනෙන්නෙත් ඔයාගෙ උණුහුම. වැඩිවෙන වේදනාවත් එක්කම මං තදකරල ඇස්දෙක පියාගත්ත..

හීන අතහැර......



අතීතය මා හැඳින
ගත්තෙමි
අඳුරු වන පෙත්
එලිය මංපෙත්
විනිවිදිමි
සිසාරා ඇවිද්දෙමි,
ජීවිතේ මැවු සිහින
කිසිවක් එහි නොදැක්කෙමි
ක‍ටුක කර්කෂ
දුකම පමණක්
නැවත වින්දෙමි...
පෙණ බුබුළු තුළ
ගෙවූ ජීවිත
පාවි පාවී ඔහේ ඇදෙනා
හැටිද දු‍ටුවෙමි

වැරදිකරුවෙකු ද... නොවෙද... මං....?

දිනෙන් දින මැකීයන මුත්
ඔබ  පැළැන්දුව
මුදුවෙ සළකුණු
හිතින් කෙලෙසක
ඉවතලන්නද ,
දෙනෙත් පි‍ටු පස මැවෙන
මතකය..
ටිකින් ටික ඔබ දුරස් වූවද
අහිමි සෙනෙහස කඳුළු අතරින්,
සිය දහස් වර නුඹ
පෙනී නොපෙනෙයි
විදුලියක් සේ
ගගන දිලිසෙන,

Monday, April 1, 2013

සිත පාරන මතක..





හිත නොසංසුන් වුණාම  පොඩ්ඩක් තනිවෙන එක තමයි හොඳම දේ. එහෙම හිතන ගමන් මම කොට්ටෙ ඇඳේ විට්ටම හේත්තුකරල ඇඳේ ඇලවුණා.  වෙලාවකට නිහඬතාවත් හරිම ඝෝෂා කාරීයි. ඒ තනිකමේ  නිහඬතාවයේ ස්වභාවය , අපිව ජීවිතේ අඳුරු අහුමුලුවලට නොදැනිම ඇදගෙන යනවා.  කොයිතරම් අමතක කරන්නට හැදුවත් හදවතේ ඇනිච්චි ක‍ටුවක් වගේ ඒවෙලාවට පරණ මතකයන් අපිව පාරනවා. ආදරේ කොයි තරම් පුදුමාකාර දෙයක්ද ...? වෙලාවකට දුකත් වෙලාවකට සතුටත් අරගෙන එන්නෙ අදහාගන්න බැරි විදියට.  අපේ ආදරේ හරියටව හින්දි චිත්‍රපටයක් වගේ කියන එකට ඕනතරම් සාධක මට ඔයාට ඉදිරිපත් කරන්නට පුළුවන්. මං ඔයාට ආදරේ කරන්න පටන්ගත්තෙ ඔයාව දකින්නත් ඉස්සෙල්ල. ඒක කොහොම වුණාද කියල මම අදටත් දන්නෙ නෑ. මම ඔයාට ආදරේ කළේ  වෙන කිසි දෙයක් නිසා නෙවේ ඔයා හින්දමයි.. මොකද මගේ ජීවිතේ බලාපොරොත්තුවුණ සිහින චරිතයේ වැඩි හරියක් ඔයාට තිබුණා.  මේ තරම් ආදරයක් කොහොම මගෙ හිතේ තිබ්බද කියල මටම තේරෙන්නෙ නෑ.. වසර දෙකහමාරක් කියන්නෙ  පුංචි කාලයක් නෙවෙයි . මගේ ජීවිතේ වටිනාම කාලෙන් අවුරුදු දෙකහමාරක් මං ඔයා වෙනුවෙන් කැපකළා.  මට වෙන කිසිම දෙයක් ඕන වුණේ නෑ, ආදරය, නිදහස විතරයි මට ඕන වුණේ . රාගයෙන් තොර ප්‍රේමයක් නැහැයි කියල කිව්වට මට ඔයාගෙ ආදරේ ඇතුළෙ ඒ විරාගික පාරිශුද්ධ මොහොත අනන්ත දැනිල තියෙනවා..