Friday, November 27, 2015

මල් පියලි මත
ගෙවිය හැකිනම්
ජීවිත....

රුදුරු හිරු රැස
ගෙනෙයි නම්
සිහිලස..

මද පවනකට
සිඳෙයිනම්
නෙත තෙත..

නොම සැලෙනු
ඇත
සුපෙම්වත් හදවත..

^සූ

සොඳුර..!

ලෝකයේ රුදු ඇසට
මුවා නොවී
හිඳිමු අප...

අඳුර තිමිරය දිනෙක
බිඳෙන වග
සිතමු අප...

තවත් එක් කතාවක්
නොවන වග
කියමු අප...

ආලයේ ගනුදෙනුව
නොකළ වග
දනිමු අප...

අවට ලෝකය දෙසම
ආදරෙන්
බලමු අප...!!!

^සූ
ගෙවිල ගෙවිල
යනකම් හිත
පිරිමදින්නමයි
මට හිත.
.
.
.
හිඳිල බිඳිල
තිබු හිත් විල
වැහැල වැහැල
පිරෙව්වෙ නුඹ..!

^සූ

මම මගේ පාඩුවේ

මම මගේ පාඩුවේ
උන්නු කාලය
කොයිතරම්නම්
සුන්දරද මිහිරේ..

පිනි පොදත් සිරි පොදත් සීතල නෑ
ගහ වැලත් මල් මිටත් සුන්දර නෑ
මා වටා සිටි සොඳුරු ලෝකය
මගේ ළඟ අද නෑ

ඔබේ නෙත් තුළ ඉන්නවා හැර
වෙනත් අතකට යන්න මට හිත නෑ
රෑක හීනෙක තිබුණු සුන්දර
සුවය නෑ ඒ කොහි ගිහිල්ලද නෑ

හදේ රාවය නැවතිලා හද
ඔබේ සුසුමින් පිරී ඉවසුම් නෑ...
ඔබ නොමැති තැන දැනෙන පාළුව
මකා ගන්නට මගක් මම දන්නෑ....


^සූ

අම්මාවරු

අල කොල
බතල කන
රෙදි අඳින
අම්මාවරු පමණද
ගැහැට විඳින්නේ
දරුවන් වෙනුවෙන්

^සූ
මේ තරම් සුවිසල් අහස යට
හිඳිමි අදමා තනිවෙලා
ඔබේ සුසුමක දුරින් ඉන්නට
වරම් නැත මට හිමි වෙලා

සයුරු වෙරළක තනිව ඉකිලන
රළ මතට වී මං මුලා
ඈත ක්ෂිතිජයෙ සැඟව යන හිරු
සදිසි ඔබ මා තනි කළා

රෑක අහසක දිළෙන තරු සේ
දිළුණු සිතුවිලි ගොළු කළා
අමාවක රෑ අහස වාගෙම
මගෙ ලොවම අඳුරක් කළා

^සූ

මගේම ගීතයකට කළ පළමු ගීත රූපරචනය.

පහන් කන්දක්
අසළ
කදෝපැණියෙකුට
කොහෙද ඉඩ
දිළිහෙන්න...!

^සූ
ආදරෙන්
පිරුණු විට
සිත තුටින්
ඉපිල යයි
කාට නැවතිය
හැකිද
හිත ඉවුරු
බිඳ ගලන
ස්නේහයේ
ගං දිය..!!


^සූ
කටු පිරුණු
පතොක් මත
පවා
පිපෙයි
සොඳුරු මල්

^සූ

ඔබ හැර !

ඔබ නිසා
වින්ද දුක
සෝ සුසුම්
කඳුළු බර
ඔබට හැර
තවෙකෙකුට
කියා සතුටක්
ඇතිද
ඔබ නැතිව
ඔබට හැර
ඔබ දුන්නු
මේ ගින්න
නිවාලනු
හැකි අයෙක්
මේ දියත
කොහි ඇතිද?

^සූ

මේඝ දෙව් දුව...!

මා හා හිනැහුණු
නිල් කටරොළු
මල ඔබ විය

නෙතින් නෙත
ගැටුණු නිමේෂය
අවර ගිරින් හිරු
වැසෙන විරාමය

නොකලට හමුවූ
මේඝ විලාපය
යලිදු දකින්නේ
කෙලෙස කුමාරිය.

^සූ

මවුනි..!


දෙනෙත් හිටියට
මග බලාගෙන
යලි නොඑන්නම
දුරක ගොස් ඔබ
කඳුළු නොහෙළුව
දුක දරාගෙන
ගැහැට විඳි ඔබ
සතුට දී මට
සිළුටු වත හිමි
යකඩ ගහැනිය
මවුනි මා මග
පහන් සිළ ඔබ...!

^සූ

කුහුඹුවා ..!

සීනි බෝතලෙක
හිරවුණ
පුංචි කුහුඹුවෙක්
වෙමි මම
මිහිරට ලොල් වී
රැවටී අවතැන් වූ

^සූ
ගැඹුරු පිවිතුරු
වුණත්
කරදිය
සොඳුරු පියකරු
පියුම්
නොපිපෙත..!

^සූ

අවරෝධිත ප්‍රේමය

විදි ගැහැට
ප්‍රේමයෙන්
දරන්නට නොහැකියෙන්
විටින් විට
දිගු කලක්
යටි සිතේ සැඟවූ
සුන්දරම සිතිවිල්ල
හුදෙකලා වියෝගය
මවන දුක් අඳුරක්ව
දිනෙන් දින
ටිකින් ටටික
මා වෙලයි අඳුරකින්
පියවි සිහියද රැගෙන
ඉවත යයි මා කෙරෙන්
මධු විතයි
දුම් රොදයි
දෙමිතුරන් පමණකිය
තවත් මට ආදරෙන්
මා අසල
රැඳෙන්නේ...
ප්‍රේමයත් ප්‍රේමියත්
කොතැනකද
සිටින්නේ....!

^සූ
නුඹෙ නයන
මුදු දෙතොල
තිඹිරි යුග
පටු නිතඹ
දුටු මතින
බරවේ දෙනෙත්
මතින්
තොල නොගෑවද
මධු විත....!

^සූ
මලෙවි කරළියේ
පිපි මල තුඩගින්
මධු මී බිව්
මී මැස්සෝ
පරිද්දෙන් මී බී
තුටු වන්නට
කැමතිද...
බලන් .,
දුටුවද සබඳිනි
තිවංක ගෙයි
බිත මත

^සූ
අබ මල්
රොනකට වඩා
අඹ මල්
රොන කුඩාය
රොන් නොමැති
නෙක මල්ද
ඇත්තේය....
සම්මතය නිවැරැදි බව
පිළිගැනීමම
නිවැරැදි නොවේ

^සූ
හිරු නැගුණොත්
ඔබ යාවි
ඉඳින් මා
තනිවේවි.
අඳුර මා මිහිරාවි
එළිය
සතුරුව ඒවි

^සූ
ඉටි පහනකි
මා
අඳුරෙදි පමණක්
ඔබට
අවැසි වන...!

^සූ
රාත්‍රිය
නුඹ සතුරෙකි
තනිකඩ
හිතට

^සූ
ඉන් මිදෙන්නට
මගක් නම් නැති.
අපිස් දිවියට
හුරු කරන්නෙමි
ප්රේමයද
වළලා දමනු රිසි
හුදෙකලාවට
මග සදන්නෙමි

^සූ

වේදනා... !

 එකක් පසුවට එකක්
කිසි දිනෙක සමුනොගත්
වේදනා මහ ගොඩක්
නිදි නොලද දිගු රැයක්

හැඟුම් තරු කැන් මිටක්
තුටින් තුරුළට කරන්
සැතපෙන්න හීනයක්
තිබුණු පෙම්බර හදක්

කඳුළකට උල්පතක්
සුසුම් සැඩ මේඝයක්
හද මහා ගිනි ගොඩක්
නිරය සැප ඇති හුඟක්

^සූ

මැරුණු කඩුපුල..!

මැරුණු බව
දන්වා එවී
සුළඟ අත
රැයේ ඉපැදුණු
සුවඳ කඩුපුල

දකින්නටවත් නොවී සමුගත්
දුකට හැඬුවේ
හිම්දිරි සියොත් කැළ...!

^සූ

පිරිමින්ගේ ගෑනු හිත්

හද බරට පිට පනින
කඳුළු කැට රහසේම
මුළු රෑම පිසදාන
දහවලට හිනැහීම..

තුටු මූණ පෙන්වාන
හුදෙකලා නැවතුමක
කප්පරක් දුක් විඳින
කිසිවෙකුට නොම පේන
කිසිදාක හෙළි නොවන
පිරිමින්ගේ ගෑනු හිත්..!

^සූ
වට වැහි බිඳත්
බෙහෝ කලකින්
වහා ගිලගති
මහා පොළොවම
පිබිදිය යුතු නිසා 
නැවුම්
තණපත්...!

^සූ
පිපාසෙට
පැණි බිඳක් බිව්වට
සිතුවෙ නෑ
තලන්නට පෙති
අත් වැරැද්දට 
සමා දිය හැකිද?

^සූ

හිට්ලරයෝ

 
හිට්ලරයෝ
ඇඳුම ගලවා
හඬමින්
ලියුම් ලියති.
නීතිය 
පොදුවිය යුතුය
සත්‍යය
ජයගනු ඇත...!


^සූ
සැඩ හිරුට
එරෙහි වෙන
පිනි බිඳුත් ඇත
තණපත් මත
තනිව තව...!

^සූ
ඇතැම්මු ගස්
ඇතැම්මු වැල්
ඒ අතර
පොඩ් පඳුරු
මල් පිපුණු

^සූ

අමාවක....

අමාවක....
සඳ
අද
නිවාඩු...!

^සූ

මියැදුණු ආත්මය

සියතින්ම ළය පලා
මියැදෙන්න තරමටම
දිවෙන දුම්රියක වැද
කැබලිවන තරමටම
හදවතම කකියවන
දුකට නැවතුම් කොහිද?

කාටවත් නොම පෙනෙන
මහ පොළොව නුඋහුලන
හිතේ බර වෙන කෙලෙස
ලේසියෙන් දුරලම්ද?

සාගරය අසළ හිඳ
හඬ හඬා මහ හඬින්
දුක කීතුකර ඉරා
හරින්නට මට හැකිද?

මූසලයි පාළුවයි
ඇස් පහුරුගානකොට
දිය නොකර කඳුළුබර
විඳදරන් සිටිහැකිද?

හිරි වැටුණු දෙපා යුග
ගාටමින් මට තනිව
සඳ එළිය මත තනිව
පා නගා යා හැකිද?

ජීවිතය මට නැතිව
ජීව හුස්මක් නැතිව
මිය ඇදුණු ආත්මෙක
තවත් ඉන්නට හැකිද?


^සූ

ආදරය..!

අඳුරු ගැඹුරු
ළිං පතුළේ සිට
සීරුවෙන්
හෙමි හෙමින්
ළිං කණ්ඩියට ගෙන
නැවත ළිං පතුළට
වැටෙන්නට
පහරදෙන
ආදරය..


^සූ

වියෝව .... !

සුසුම් පවන් මැද
මගේ ළඟින් හිඳ
වගේ වගක් නැත
ඔබ සමඟ කතා බහ

හදේ ගැහෙන නද
ඔබ ඔබේ කියාගෙන
මට තවත් ළංවුණා
දෑතින්ම බදා බඳ

ඔබෙ සුමුදු කොපුල් තල
වැදි වැදී දෙතොල මත
මුනු මුනු නද දුන්නා
සවනතට ළංව හිඳ

පෙර මගේ කියා ඔබ
අද මගෙන් දුරක හිඳ
ඔහු හා සුවවින්දා
මගෙ දෙනත් ඉදිරි පිට

^සූ

ප්‍රේමය නම් ...

ප්‍රේමය නම්
දෙතොල් අග මිමිණෙන
වදනක් නොව
එය
හදවතේ
දෝංකාරයයි ..!

^සූ

ආදරයද මේ ...


නිමා වෙන්නට
වගේ ඇත තව
ගිම්හාන යලි වතාවක්
වසන්තය අත වනයි
සිත ළඟ
මුමුනමින්
තාව රස කතාවක්


^සූ

හැරගිය මලට ඇරැයුමක්

නිල නුවන් පිය නොවුණු අහස යට ඉකිබිඳ
සමනලිය මල අතැර කොහේ යන්නේ පවසන්න

මකරන්ද සුව රැගෙන බමරිඳු ගිය දිනෙක
මා තවම ඈ නමින් ඉන්න බව පවසන්න

සුවඳ නැති මලකි ඇය ඔබට ඉන් පල කිමද
සුවඳ මල් දස අතම ඇති තරම් අරගන්න

මල් සුවඳ ඉව කෙරුව බමරෙක්ව පැනයන්න
නොව පිදුවේ මුල්ම පෙම ඈ නමට පිළිගන්න

පෙති තලා රොන් උරා අතරමග මිය යන්න
අතැර ගිය මුත එමල මට හැකිය රැකගන්න

කිළුටු මලෙකින් කුමන පල ඇතිද පවසන්න
පිවිතුරුව ඇති කලෙක මිස එයින් පල කිමද

මල මලක් මිස සුවඳ හැඩ පාට අරගන්න
නොව මලට පෙම් කළේ ඒ හිතට අරගන්න

පාට හද මකරන්ද නැති වුවද අහගන්න
ඒ සෙනෙහෙ ඇත හදෙහි ඒ සැමට හරියන්න

^සූ 

දෙන්න අවසර ...!

නිසොල් මන් වී
මා මෙතෙක් කල්
ඔබේ අබියස
බලා උන්නෙමි

ඉදින් අවසර
දෙන්න නොහැකිද
වෙන්න දොඩමළු
එක් වරක් ..

රිදුණු දෙහදක්
තුරුළු කරගෙන
දෙතැන සිටියා
ඇති බලාගෙන

ඔබෙ සුරත ගෙන
අලුත් හෙටකට
පියනගන්නට
දෙන්න අවසර ...!

^සූ

ඉඩ හරිනු මැන

සියුම්කම්පන
නහර වැල් තුළ
නගන රාවය
සොයාගනු මැන

හදක තෙරපෙන
සුසුම් පොදකට
තෙරපි තෙරපී
ඉන්න දෙනු මැන

නෙතින් වෑහෙන
හැඟුම් බිඳකට
කොපුළ මත හිඳ
ගිමන් නොම හැර

දකින්නට පෙර
තවත් දෙනෙතක්
සැඟව යන්නට
ඉඩ හරිනු මැන


^සූ

ජීවිතය නම් වලාකුළකිය

ජීවිතය නම්
වලාකුළකිය
විටින් විට
නෙක හැඩ මවන

විටෙක ක්ෂය වෙන
විටක දැඩිවෙන
කෙඳි කැටිති මීදුම්
වෙසින් එන

සෞම්‍යය
සිතුවිළි මවාදෙන
විටෙක දැඩිවෙන
හෙණ විදුලි දෙන
අසුරු සැණෙකින්
දවා හළුලන....

ජීවිතේ නම්
වලාකුළකිය
නොනැවතී හැඩ
මවා පෙන්වන

^සූ
ඔබේ දුක ඉදිරියේ
දොඩමළු වූ හිතම
මගේ දුක ඉදිරියේ
ගොළුව ගල් ගැහුණාද ?

^සූ
කඳුළක උණුහුම
අඳුනන ඔබම
මට කඳුළු දුන්නත්
ඔය හිතට දැනුණු බර
ඉවසන්න දිරිදුන්න
මටම යලි ඒ දුකම
පවරලා නිහඬව ඉන්න
දුකක් සිතුණෙම නැද්ද ?

^සූ

මලක් වන මුත්

නෙත්කළු
මලක් වන මුත්
බුදු පුදට මට
වරම් නැත්තෙමි
නියඟලා
මා
නියඟලා


^සූ
අහසම ඉකිබිඳ කඳුළැලි සැලුවා
මන්දාරම් අහසම තනි මැකුවා
මිහිකත් වැදහෙන සීතල කඳුළද
සෝ ගින්නෙන් උණු වී තිබුණා

දෙබෑ කරගෙන නීල ඝණඳුර
කළු අහස මත විදුළි කෙ‍ටුවා
හදිසියෙන් එළි වූ විජිතයම
පෙර ලෙසම යලි අඳුරෙ ගිළුණා

බොඳව පෙනෙනා අවට ලෝකය
පවසාවි මුදු හදක වගතුග
කාටවවත් නොපෙනුණත් හදවත
අදත් පෙරලෙස වැළපුණා

^සූ
මම කවි ලිව්වෙ
වෙන කාටවත් නෙවෙයි
මට.

ඒ ආදරේ ගැන
ඒ උණුහුම ගැන
ඒ අහිමිවීම ගැන

මට
කියව කියව
අඬන්න...!

^සූ

"නානත්ථ කායා නානත්ථ සංඥා"

ඔබ සිනා සෙන්න
එක වරක් තව
විවිධවූ ලෝකයේ
විවිධ මිනිසුන් අතර
ඇතිවෙනස හඳුණාගෙන

කඳුළකට
සියුම් සංවේදනයකට
ඉඩක් නැත
සංවේදනය නොවන
යාන්ත්‍රිකවූ
මිනිසුන් ලෙස
ඔවුන් වටහාගෙන
තව වරක් සිනාසෙන්න

ඔවුන් තුළ තමා
නැතිබවද
සකම්පිත හදවත්
හිඟ බව ද
මේ බිම තුළ,
වටහාගෙන හිනැහෙන්න
තව වරක්...

හිනැහෙන්න ඔබ
ඔබ සමඟ
සිනහව ලෝකයෙන්
නොයිල්ලාම

"අත්තායි අත්ත නෝ නාථෝ
කොහි නාතෝ පරෝසියා"

"නානත්ථ කායා නානත්ථ සංඥා"

^සූ

බිය

මා ප්‍රිය මිත්‍රවරුනි,

ඔබට, මට ඇත්තේ
සියල්ලම අහිමි වේයැයි
ඇති බියයි.
අප නැතිකර ගත යුත්තේද
එයයි...!

^සූ