Thursday, January 19, 2012

"මැණිකට ඇහෙන්නට"



ගහට වැල සේම නුඹ ළඟ උන්නාට
සඳට තරු සේම තනියට රැඳුණාට
සඳුන් කඳ සේම පැහැයට දිළුණාට
කළදේ සොඳයි නුඹ හට බහ දුන්නාට

වෙල් එලියේ දුව පැන්නේ අපි එකට
වන බැද්දේ පෙම් කෙළියේ අපි යසට
මුව මීවිත රස බැලුවේ නුඹෙ බහට
අහිතක් සිතේ තිබුණද රන් කඳ මහට

බාලේ ඉඳන් බැඳි සෙනෙහෙට තිතක් තියා
සිටු කුමරෙක් නුඹ හට පෙම් බැන්ද නියා
අත කන කර සරුවට ඉන් ලබනු නියා
මා මග නතර කොට ඔහු හා යන්න ගියා

රන් කහවණු නැති හන්දා දිළිඳු මට
වද බැන්දේ ඔහුහට පෙම් සුවඳ පිඬ
හමදා නුඹට දුන්නත් මගෙ සිතෙ ඉඩ
නෙළුමේ තිබෙණු දුටුවේ නැහැ ගොහොරු මඩ
යන්නට යනවනම් මැණිකෝ හොර රහසේ
දුන්නේ මොකෝ මාහට පෙම් මදහාසේ
විඳින විඳුම් නුඹ හින්දා අපහාසේ
මීට හොඳයි වහ දුන්නනම් රහසේ

එක වහලක් යට ඉන්නට පැතුවාට
එක හැලියේ බත් කන්නට සිතුවාට
එක යහනේ සැතපෙන්නට බැරුවාට
එක හිත දෙකඩ වෙන්නෑ නුඹ නැතුවාට

හිමිහට නුඹේ හැමදා එක ලෙස චිත්තෙන්
ආදර කුළුණු කීකරු ලෙස සලකාපන්
හදවත විරා දුක් වින්දත් අද සත්තෙන්
මාහට නොළැබුණත් මැණිකෝ නුඹ රත්රන්
 

No comments:

Post a Comment

hi