Thursday, April 11, 2013

අහිමි උණුහුම…………



වහිනවට මං හරි ආසයි, ඒ වැස්සෙ හඬ මට පුදුම තරම් සුන්දරත්වයක් හිතට අරගෙන එන්නෙ, වෙනදට මං වහිනකොට ඇස්දෙක පියාගෙන මුළු හදින්ම වැස්ස එක්ක අවනතවෙලා සංගීතයක් වගේ දැනෙන ඒ හඬට සවන්දෙනව.. පුදුම සතුටක් සැහැල්ලුවක් හිහට දැනෙන්නෙ. ඒත් ඒ සතුට සැහැල්ලුව මගේ හිතින් යන්න ගිහිල්ල . දෙනොදාහක් ගැවසුණ කුරු‍ටු මතක ඉතිරි කරල ගිය හොස්ටල් කාමරේ, කවදාවත් මට තනියක් නොදැනුණ කාමරේ, මහා මූසලම මූසල පාලුවකින් පිරිල. හිතට දැනෙන වේදනාව තවතවත් හන්තානෙ හීතල වැඩිකරනවා. මේ සරසවිය පුරාවටම ඔයා මට ඉතිරි කරපු මත , බලන බලන තැන මාව අරගෙන යන්නෙ ඔයාගෙ ළඟටමයි. ඒ මතක තව තවත් මාව වේදනාවේ පතුළටම ඇදගෙන යනවා. මම ඉවසගන්නම බැරිතැන දිගට වැවිල තිබ්බ කොණ්ඩෙ වැරෙන් ඇදගෙන ඇදගෙන ගියා. ඇ‍ඳෙන් නැගිටල ගිහින් පුළුවන් තරම් හයියෙන් කාම්රේ බිත්තියෙ ඔලුව හප්පගෙන හප්පගෙන ගියා, නිලංකාරවෙන දෑස් අතරෙත් මට මැවිල පේන්නෙ ඔයාගෙ රූපෙමයි, ඒත් මං තව තවත් ඔලුව බිත්තියෙ හප්පගෙන ගියෙ මුළු හොස්ටල් එකම දෙදරන්න. ඒ එක්කම මට වාරු නැතිව එහෙමම බිම ඉන්දවුණා... ඔලුව පුපුරු ගහද්දි එලියෙ වැස්ස වගේම සැරට ඇස් දෙකෙන් කඳුළු කඩන් වැ‍ටුණ. මට ඒත් වේදනාවක් දැනුණෙ නෑ ඊට වඩා මගේ හිතේ තිබ්බ ගින්දර ගිනි කඳක් වගෙ ඉහලට මතුවෙමින් මාව ගිලගනිමින් තිබුණ , මේ සේරම මගේ වැ‍රැද්ද........... මං ආයාසයෙන් නැගිටල අමාරුවෙන් ඇඳට නැගල ඉඳගත්ත.... දැස්දෙකේ පිරෙන කඳුළු කම්මුල් දිගේ ගලාගෙන හැලුණා .. ඒ කඳුළු වල මට දැනෙන්නෙත් ඔයාගෙ උණුහුම. වැඩිවෙන වේදනාවත් එක්කම මං තදකරල ඇස්දෙක පියාගත්ත..

පුංචි රතු මල් වැටිච්චි සුදුපාට චීත්ත ගවුම ඇඳල කොණ්ඩ කරල් දෙකක් ගොතල, බාට සෙරෙප්පු දෙක දාගෙන ෆයිල් කවරෙ පපුවට තුරුළුකරගෙන බයෙන් බයෙන් බිම බලාගෙන අනිත් ෆ්‍රෙෂාලත් එක්ක ඔයා ආපු හැටි අදවගේම මට තාම මතකයි.. ඒ ලතාවට බැඳුණු හිත අපිව කොයිතරම් දුර මේසරසවියෙ පුරාවට අරගෙන ගියාද, ඔයා එක්ක ගෙවපු දවස පැය , විනාඩි තත්පර දසදහස් ගණනක් මේ පරිසරය එකතු කරන්න ඇති. මුළු නුවරම සුවඳ කරපු පුන්චි මැණිකෙ මගේ ජීවිතෙට සුවඳ වෙන්න ගත්තෙ එතැන ඉඳල..
මගේ මේ ජීවිතේ පුරාවටම මාව කියවපු එකම කෙනා ඔයා, මාව මෙල්ල කරන්න මාව හිරකරගන්න , කොටින්ම කිව්වොත් මාව පාලනය කරන්න පුළුවන් වෙච්චි එකම කෙනා ඔයා, මං කොයිතරම් ඒකට අකමැත්ත පෙන්නුවත් මං ඇත්තටම ඒකට ගොඩාක් ආසා කළා. ආදරේ කළා. මං තනිව, ඒ ඔයාගෙ ආදරේ අස්සෙ හිරවෙන්න හිතයටින් ගොඩාක් ආසා කළා. කැම්පස් එකේ ශිෂ්‍ය සංගමයේ කොයිතරම් වැඩ තිබුණත් මට ඔයා හම්බවෙන්න ඔයාට ආදරේ කරන්න මට ඕන තරම් වෙලාව තිබ්බ, මම කොහෝම හරි ඒ වෙලාව හොයාගත්ත. ඔයා මාව කොයිතරම් කියෙව්වද කියනවනම් මගේ පුංචි වෙනස් කමක් පවා තේරුම් ගත්ත මගේ ජීවිතෙ මන් ජීවත් වෙන විදිය , ආස්සරේ කරන අයගැන පවා ඔයා හොඳ අවබෝධෙකින් හිටිය, ඒ වගේම මම කොයි තරම් ඔයාට ආදරේද කියන එකත් ඔයා හොඳාකාරවම දැනගෙන හිටිය. ඒත්...ඒත් අන්තිමට මම කියපු දේ ඔයාට තේරුම් ගන්න බැරිවුණේ ඇයි කියන්න මට තේරෙන්නෙ නෑ. මගෙන් ඔයාට ඒ ඇර කිසිම වරදක් මේ අවුරුදු තුනට ම වෙලා නෑ මගෙ රත්තරං.. ඔයා හොඳටම දැනගෙන හිටිය අචිනි මගේ ඇඟේ එල්ලෙන්න දඟලපු බව, ඔයා එදා ලෙක්චර්ස් ඉවර වේලා එනකන් මං බලන් හිටියෙ, අචිනි ඇවිත් බලෙන්ම මගේ අතින් ඇදගෙන වලේ කැන්ටිමට එක්කගෙන ගියේ.... ඒක ඔයා දැක්ක බව මාත් දැක්ක ....

"
හෙලෝ ....පබාස්වරී.......... මට ඔයාව හම්බ වෙන්න ඕනෙ අක්බාර් පාලම ළඟට එන්න"

ඇයි අයියෙ කියල ඔයා බයෙන් වගේ ඇහුවෙ ඔයා දන්නව මම ඔයාට මුළු නම කියල කතා කරන්නෙ නෑ කියල..

"
දැන්ද අයියෙ මට ලෙච්චර් එකක් තියෙනවනෙ, හතරට තව විනාඩි දහයයි තියෙන්නෙ"

'
ඒ වුණාට කමක් නෑ දැන්ම එන්න මම එතන්ට යනගමන් වැදගත් දෙයක් තියෙනව කියන්න"

"
හරි මම එන්නම්"

මුළු හන්තානටම උඩින් මහා කලු වලාකුළක් පැතිරිලා වෙනදා නොතිබුණ ඇඳිරියක් වැහිවලාවත් එක්ක අවිල්ල වගේ... විටින් විට වැටෙන තුහීන මගේ මුළු ඇඟම හිරිවට්ටල.. අක්බාර් පාලමට යටින් ගලාගෙන යන බොරපාට මහවැලි ගං දිය දිහා මං විටින් විට බැලුවෙ පබා එනවද කියල සැරින් සැරේ බලන ගමන්. අද නම් ගඟේ වතුර සැරවැඩී උඩහට වැහැල වෙන්න ඇති කියල හිතන ගමන් මං ආයෙ පාරදිහා බැලුව, ඔයාගෙ ලස්සන රූපෙ ජීවිතේ ආදරේ කියාදීපු ඒ රූපෙ හෙමින් හෙමින් මා දෙසට ආව, ඔයා ලං වෙද්දි බොරූ බැරෑරුම් පෙනුමක් මවාගෙන මම අමනාපෙන් වගේ හිටිය.

"
සුදු අයියෙ ඇයි මේ "

වැඩිය කතාකරන්න වෙලා නෑ අපි මෙ සම්බන්දෙ නවත්තන්න ඕනෙ .... ඔයා දන්නවනෙ අචිනි ..

"
අචිනි ''

"
ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ " කියල හිනාවෙන ගමන් මං අනික් පැත්ත හැරුණ.

මං හිතුව ඔයා පැනපු ගමන් මාව බදාගනී කියල ඒත් එහෙම නොවුණ නිසා අනික් පැත්ත හැරිල බලද්දි තමයි දැක්කෙ ඔයා දුවගෙන යන්ව....

පබා................... පබා ................... මලකෙලියයි.....

''
හන්තානට පායන.............." හෙලෝ දුමිය............

"
මචං සුධාර දැම්ම පොළොන්නරුවට වරෙන් 5.00 හදිසි මීටින් එකක් ගන්නව"

"
මචං මේ මං පබාට පොඩි විහිළුවක් කළා ඒකි අඬාගෙන දිව්වනෙ බං. මං පබාව බලල දුවල එන්නද"

"
මේ ඕක ෂේප් කරගන්න පුළුවන්නෙ බං, මලාවට ඕක උඹව දාලයන්නෙ නෑ. උඹ වරෙන් මීටින් එක ඉවර වෙලා මාත් එන්නම් උඹත් එක්ක යන්න. කොහොමත් ඕකි උඹ එනකන් ඉන්නවනෙ ගෙදර යන්න.."

"
හරි හිටපන් මං එන්නම් එහෙනම් "

**************

"
දුමියා පබාගෙ ෆෝන් එකවැඩ නෑ මචං "

"
ශුවර් එකට මලට ඕකි අද තනියෙම ගෙදර යන්නැති"

"
ගෙදරට කතා කරන්නත් බෑනෙ බං"

ඔයාගෙ තොරතුරක් නැතිව ගෙවිච්ච ඒ රාත්‍රිය කොයිතරරම් දිගවුණාද කියල මම දන්නෙ නෑ. එක දිගට මුළු රෑම වහිනවා හරියට ඔයාට දීපු ගින්දරට අහසට දුක හිතිල අඬනව වගේ. මං ඔයාට කරපු විහිළුව නිසා ඔයා කොයිතරම් වේදනාවෙන් ඇතිද කියල හිතෙන වාරයක් පාසා මං මටම දොස් කියාගත්ත. මට නින්ද යන්න ඇත්තෙ එලිවෙන්න කිට්‍ටුව ඒ වෙලාවවත් මට මතක තිබුණෙ නැහැ.. උදේම මම ඔයාව හම්බවෙලා සමාවගන්න හිතාගෙන හිටියෙ. මට සමාවෙන්න පබා නංගි. මං හිතින් සිය දහස් වාරයක් එහෙම කිව්ව. මට එකපාරටම ඇහැරුණේ ෆෝන් එක රින්ග් වෙන හඬට. මං ගැස්සිලා ඇහැරුණේ ඔයා වෙන්න ඇති කියල හිතලා.....

දුමියා.........

"
නොදකිං යකෝ මං හිතුවෙ පබා කියල...දුමියා කියපන් මං රූම් එකේ බං උදෙන්ම පබා හම්බෙන්න යන්න හිටියෙ නින්ද ගියා දන්නෙනම නැතිව... "

"
සුධාර මචං පබා ඉන්නව.... උඹට දෙන්න ලියුමක් තියල.... ඉක්මනට lovers lane එකේ දං යාය ගාවට වරෙන් මං එතන...."

ලියුමක් තියල.....?

************************

ඊයෙ ඉඳල වෙච්ච සිදුවීම් එක පෙළට චිත්‍ර පටයක් වගේ මැවිල පේනව. මං නිදාගෙන ඉන්න ගමන්ම මගේ ඔළුව අත ගෑව ඔළුව හොඳටම ගෙඩි ගැහිල, ඔයාට මාවදාල යන්න මේක මෙතරම් බරපතල හේතුවක් වෙයි කියල මං හිතුවෙනෑ. මුළු සරසවි බිමම එකම මතක ගොඩක්. ඔයා නැති මේ ජීවිතේ මං කොහොමද තනියෙන් ජීවත් වෙන්නෙ මගෙ රත්තරං දරුවා.. ඇයි මෙච්චර ලොකු දඬුවමක් මට අදුන්නෙ.. මම ආයෙත් වතාවක් වෙගයෙන් ඇඳ විට්ටමේ ඔළුව හප්පගත්ත........


..............
හන්තානට පායන සඳ....... ආයෙත් ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත....

"
දුමිය"

"
සුධාර පොස්ට් මොර්ටෙම් එක ඉවරයි .. පබාගෙ බොඩි එක තව පැයකින් විතර එලියට දෙනව කිව්ව... උඹ ලෑස්තිවෙලා ඉඳපන් මම උඹව ගන්න එන්නම්..."

බොඳ වෙච්චි දෑසින් ජනේලයෙන් එහා පෙනෙන හන්තාන දෙස මම බලං හිටිය. වෙනදා සුන්දරත්වය හන්තානෙ අද නෑ ලොකු කලු වලාකුළකින් හන්තානෙම වසාගෙන. හිස් බැල්මෙන් යු ඒ දිහාම බලාගෙන ඉඳිද්දි මං ඒ කළු වලාකුළ අතර අතරමං වෙලාවගේ කළුපාට මගෙ මුළු ජීවිතයම වසාගත්ත....

අදත් එදා වගේම මං
හන්තානේ හීතලේට
තුරුලු කරන්
ඔබෙ මතකය
බඩගාන ගස් ගාව
තවම මග බලන් ඉන්නව

පුදුම හතෙන් එකක් වෙච්චි
අක්බාර් පාළම ළඟ
හැමදාම හවසට මම
තවමත් මග බලන් ඉන්නව.....

ඒ වෙලාවෙ ඒතනදි මට
ඔබේ ඇ‍ඟෙන් වහනය වුණ
පිච්ච විලවුන් සුවඳ
තවමත් හොඳටම දැනෙනව..........

සම්බන්ධය නවත්වන්න
ඕන කිව්වෙ විහිළුවටයි
එහෙම කියල අනෙක් පැත්ත
හරිලා මම හිනත් උණා........

මගේ පුංචි විහිළුවකට
තරහ වෙලා මාත් එක්ක
ගියවෙලාවෙ හිතුනෙම නෑ
ආයෙ ඔයා නේවි කියල....

මුලු දවසෙම සරසවියෙදි
දැක්කෙම නැති හින්ද ඔයා
හැම දාකම ඔබ එන මග
බලන් හිටිය පාළම උඩ........

පුංචි අකුරු වලින් ලියපු
ලියුම එක්ක රෝස කුසුම
දැක්කේ මම යලි යන්නට
හදනකොටයි, පාළම උඩ........

හන්තානේ බොල් පින්නට
දිමුතු වදන් බොඳ වීලා
මට නොදැනිම රෝස කුසුම
ඒවනවිට පරවීලා.....

"
සුදු අයියෙ ඔබ නැතිව
පලක් නෑ මට ඉඳල
මම ඉතින් යමි යන්න
ඔබෙ ලොවට සමු දීල"

මේ සදාදර,
පබා නංගි......

...................................................

අනේ තුන් හිතකවත්
ඒවගේ අදහසක්
තිබ්බෙ නෑ නංගියේ
විහිළුවට කිව්වෙ මං.......

මුළු දවසෙම ඔයා හෙව්ව
දකින්නවත් හම්බුණෙ නෑ
අන්තිමේදි හම්බවුණේ
ගඟේ පහල තො‍ටුපල ළඟ
දං පඳුරක් අස්සෙ ඉඳල.......

සෑම දාම මා සනසපු
නිල් ඇස් දෙක පිය වීලා
රෝස පාට කම්මුල් යුග
සුදුමැළි පැහැ ගැන්වීලා
මගෙ රන්කඳ මටත් නොකිය
මගේ ලොවින් පිටවීලා..........

එදා ඉන්දන් මං තාමත්
හවසට පාළමට වෙලා
බලන් ඉන්නෙ නුඹ එනතුරු
ගං දියකඳ ඈත් වෙලා.....

අදහන්නට බෑ තාමත්
නුඹ මට නැතිවුණයි කියල
මට හිතෙන්නෙ මේ සේරම
නපුරුම හීනයක් කියල.......

නිමි.

^
සූ

13 comments:

  1. මේක හරි අමාරුයි කියවන්න... ඇස් වලට... පසුබිමේ කළු පැහැය වෙනස් කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. දැන් හරි තරූ බලන්න

      Delete
  2. HARIMA LASSANA DUKA HITHENA KATHAWAK YALU

    ReplyDelete
  3. කතාව ඇත්තක් නං අපරාදෙ ජීවිතේ... හැබැයි අද කාලෙ කොල්ලො කෙල්ලන්ට දරා ගැනීමේ හැකියාව හරි අඩුයි... මේන් වගේ විහිළු කරන්න ඕන පරිස්සමින්...

    තමන් මොහොතකට හරි ආදරේ කළ කෙනෙක්ගේ මරණය කොයි තරම් කම්පනයක්ද දුකක්ද කියන එක මං හොදටම දන්නවා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තරුරසී...

      Delete
  4. ඇත්ත කතාවක්ද ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් නෙවෙයි කෙල්ල

      Delete
  5. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. එසේම වේවා නලීන්.

      Delete
  6. අනේ මේ කතාව හරිම දුක හිතෙනවා... ඒ වගේම මම ආසම කතාව... ලස්සනයි...

    ReplyDelete
  7. What an imotional story..nice one babs..!!

    ReplyDelete

hi