Wednesday, March 20, 2013

නුඹ දන්නෑ අම්මේ........


ජැන්ඩි පහට මං ඇන්දට
සරුවට වගෙ මං උන්නට
සළකන්නට උඹට තවම
අත සරුනෑ අම්මේ...
පාන්දරින් හැමදාකම
අවදිවෙලා බත් තම්බල
එදා වේල සරිකරනව
උඹ තවමත් අම්මේ...
රෑ තුන් යම කෙඳිරි ගගා
කැහැ කැහැ පපුවත්
අතගා ඉන්නා හැටි
දකිනා විට පපුව දනව අම්මේ..
ගමේ පුංචි ඉස්කෝලෙන්
කොළඹ මහා කොලීජියට
එතනින් මං සරසවියට
ගියා තමයි අම්මේ...
නාට්ටිවල මං හිටියම
රූපවාහිනියෙ දු‍ටුවම
අහළ පහළ ඉන්න අයට
පෙන්නුවාට අම්මේ...
උඹේ හීන මට තාමත්
හැබෑ කරන්නට බැරි බව
නුඹ දන්නෑ අම්මේ...

රස්සාවක් ලැබුණ තමයි
එතන ඉන්න මහත්තුරුට
උඹ විඳිනා දහදුක් කඳ
පෙනෙන්නෙ නෑ අම්මේ...
ආත්මයක් මට නැතිනම්
පාත් වෙන්න පුළුවන්නම්
ජම්මය නැති හරකුන් ළඟ
මම ලොක්කෙක් අම්මේ...
අනිත් උන්ගෙ කොඳු නැතිවට
මගේ කොන්ද තාමත් හරි
හයියයි මගෙ අම්මේ...
පවුලේ දුක නුඹෙ කරදර
කිව්වම ඇස් කන් වහගෙන
මං නිහඬයි අම්මේ...
දෙපා වැඳල නළල ඉඹල
ගෙදරින් පිට වුණාට මට
උණු වෙන්නැති හිතක් කියල
උඹ බනිනව අම්මේ...
සද්ද නැතිව මං  හිටියට
ඇට මස් ලේ නහර තියෙන
අනුන්ගෙ දුක තවම දැනෙන
මිනිහෙක් මං අම්මේ...
ගලක් වගේ මං හිටියට
මගේ අසරණ කම මංගැන
දවසට දස දහස් වරක්
මං තැවෙනව අම්මේ...
පපුව ඇතුළෙ පිච්චි  පිච්චි
රෑ දාවල් මං හඬනා
හැටි නුඹලට කවදාවත්
ඇහෙන්නෙ නෑ අම්මේ...
ගෙදරින් පිටවෙන්න කලින්
බුදුන් වැඳල හැමදාමත්
මැගේ පවුල ‍රැක දෙන්නට
පතනව මං අම්මේ...
කළකිරෙනව ජීවිතයම
මොහොතින් මොහොතට පසුවෙන
මේ කරුමෙන් නුඹල කොහොම
ගොඩ ගන්නද අම්මේ...
හිනා වෙලා මං හිටියට
හිනාව යට තියෙනා දුක
කාටත් තේරුම් ගන්නට
බෑ මගෙ සුදු අම්මේ...
කල වයසත් යනව තමයි
තවත් කෙනෙක් ළං කරගෙන
ජීවිතෙ තව විඳවන්නට මට බෑ
මගෙ අම්මේ....
අම්ම තාත්තයයි දෙන්නම
තාමත් විඳිනා මේ දුක
දකින විටදි මගෙ නෙත් දෙක
වාවන්නෑ අම්මේ...
නුඹල ‍රැගෙන දුක් කඳුරෙන්
පීනන්නට පිං ලැබෙන්න
වඳින විටදි ඔබෙ පායුග
පතපං බුදු අම්මේ......!!!


^සූ

3 comments:

hi