Thursday, January 19, 2012

ඔබ කොයිබද පවසන් සීගිරි ලන්දූ

සඳුන් අඳුන් තවරා මුව සරසන්නී
කොකුම් කල්ක නෙළුමෙන් ගත ඔප ලන්නී
රන්සිකිපිල සුවඳ දුමින් ගවසන්නී
දෙව් ලිය නුඹ කිම ඇසිපිය සොලවන්නී

මිහිරි වදන් තෙපුලෙන් සවනත පුරවා
සුරඟන රූ සපුවෙන් නෙත් සිත් නළවා
ජල උයනට යනවිට ඉඟසුඟ ලෙලවා
කොමල හසුන් යුවලය හිනැහී බැලුවා



කැට බිත පුරා නෙක වදනින් රස මැව්ව
නුඹෙ රුව පුරා අනුරා මල් පැන් සෙව්ව
කසුප් රජුගෙ රති හැඟුමන් සැතපෙව්ව
සුරලිය නුඹයි හැඩකළ සීගිරි පව්ව

ශීත මැදුරෙ උණුහුම රන්දා නිතිනි
රන්පට රිදී පට සළු දවටා ගතිනි
සව්බරණින් ලා සැරසී මදහසිනි
නුඹ විය එදා රජුනගෙ සීගිරි ‍රැජිනී

ගතසිත මෝහනය කර ආලෙන් බැන්දූ
නෙත්කලු සිනහ කැලුමන් දෙතොලග ‍රැන්දූ
මේඝ වලා, රන් වැටකේ සිරි කැන්දූ
ඔබ කොයිබද පවසන් සීගිරි ලන්දූ



^සූ (2011.12.24 .... 2.24 a.m.)

No comments:

Post a Comment

hi