Thursday, January 19, 2012

"ආදර ළඳුනි ඔබ මට ගී රජ දහනයි"

කෙළි ලොල් සිතින් මා ගැයු රස පෙම් ගීය
නොහැකිය ගයන්නට මා මුව ගොළුවීය
තුන් සිත පුරා විනිවිඳි මල් සර හීය
ගිනි ගෙන දවයි මගෙ සිත, ඔබ ගැන සීය

මල් සර හීය සිත විනිවිඳ දවා ගියේ
ඔබ ගැන සිතේ මාහට නම් දිවා ‍රැයේ
මෙතරම් දුක් දෙන්නෙ දුක් ගිනි දවා ළයේ
මල් රොනකුදු මා ගැන සිත නැතිද ප්‍රියේ


නෙත නිදි ලබා සැනසුණි නිති ලබා සුවේ
පෙර ලෙස සුවේ නැත මා සිත දැවේ තැවේ
දෑස වසන විට රුව නෙත් ඉමේ මැවේ
‍රැය දිගු වැඩී ඔබ ලද පසු මගේ ලොවේ

ගිරවුන්, මේඝ නැත පණිවිඩ එවන්නට
සැළයන් පරෙවි නැත හසුනක් එවන්නට
මයුර තිසර අත තොරතුරු ගෙනෙන්නට
කවියෙක් නොවෙමි මා කවි පද බඳින්නට

උඩු හුළඟේ මගෙ මේ පණිවිඩ අහපන්
මගෙ පෙම් කවිය ඈ වෙත ගොස් ඇරලවපන්
ඈ නැති සොවින් මා සිටිනා හැටි කියපන්
ඇගේ සුවඳ ගෙන මා විත් සනසවපන්

සතර වටින් ඝන වේ වැහි වළාවන්
ඇගේ සිනහ සහ පෙම් රස ගුලාවන්
කැටිකළ සුළං ‍රැලිමුසු වූ කලාවන්
ගෙන එනු වන්ට පෙර මගෙ සිහි මුළාවන්

මද මුදු සිනා ඇගෙ, රන්රසු ලෙසෙ ගැස්සේ
රොක්වෙන ඝන වලා , වරලස ලෙස දිස්සේ
හෙළන සුසුන්ම් මහ සැඩ සුළඟට ‍රැස්සේ
මිණි මුතු කඳුළු හෙළනා, වැසි ලෙස වැස්සේ

සෙනෙහස වැඩි නිසා ආදර මල් පිපුණි
ඔබ ගැන සිතා මම පෙම් මීවද බඳිමී
කී මුදු වදන් අමරස, දෙසවන බැඳුණී
ඔබවන් කතක් මා දු‍ටුවේ නැත ළඳුනී

චන්ද්‍ර මඬල ලෙස දිස්වෙන මුදු මුහුණයි
දෙපසින් සිහින් වී දික්වුණු දිගු නයනයි
කුළුඳුල් සුමුදු නොකිළිටි ඔබෙ සිත් අරණයි
ආදර ළඳුනි ඔබ මට ගී රජ දහනයි

^සූ 

No comments:

Post a Comment

hi