Wednesday, January 25, 2012

ඔබයි පතිනිය ඔබයි ප්‍රේමිය මා ලොවේ අග දෙවැනි මවුනී



දුකද සැපතද එකට විඳගෙන එක්ව ඉන්නට පෙරුම්පුරනා
බැණුම් එරවුම් සිතින් ඉවසා මුවින් නොබැණම ප්‍රේම කරනා
අනාගත ලොව ගොඩනගන්නට ‍රැයද දහවල සිහින දකිනා
ඔබයි ප්‍රේමිය ඔබයි දීපය අඳුරු මග මා, එළිය කරනා

වැටි වැටී දුරු කතර මා මඟ වින්ද අවමන් පසෙක දාලා
ලැබිය හැකි දුක් වේදනාවන් දැනම, ඒබව ඉවත ලාලා
මගේ ලොව ඔබ මගේ හිමි ඔබ සපථ කර සිත දිරිය දීලා
පෙරට ආ ඔබ ‍රැගෙන මා අත, කෙලෙස යන්නද ඉවත දාලා

වැටෙන විට මා, පෙරට අවුදින් දෝතපා මා නැගි‍ටුවන්නී
මහා සෙනෙහස හදෙහි පුරවා ළය හොවා මා සනසවන්නී
නොයෙක් වදනින් කියා සනහා මසිත පිරිමැද සතපවන්නී
ඔබයි පතිනිය ඔබයි ප්‍රේමිය මා ලොවේ අග දෙවැනි මවුනී

මගේ නාමය මගේ පරපුර පෙරට ගන්නට දිරිය දීලා
මගේ දරුවන් මගේ පැටවුන් සවි නගන්නට සෙනෙහෙපාලා
මගේ ආලය මගේ සෙනෙහස ඔබෙ දෙපා ළඟ පුදට දීලා
මගේ ජීවය මගේ ප්‍රාණය පුදා ‍රැකගමි එඩිය පාලා

ලොවක් එදිරිව පෙරට ආවද මගේ ‍රැකවරණය වෙනා ඔබ
මවක් බිරිඳක් සොයුරියක් තව වරෙක් හිතමිතුරියක්වන ඔබ
සහස් සුවහස් කල්පගණනක් සෝසුසුම් විඳ හිනැහෙනා ඔබ
තවත් අත්බැව් සතක් මතුවට මගෙම පිය,අඹ වෙන්න පිය ඔබ
^සූ 

No comments:

Post a Comment

hi