Monday, May 27, 2013

පිය සමර



දෑත රත්තරන් පින්කෙත
දෝර ගලන මිණි මුතු ගත
සාර පොළව මෙනි 'තුම් හිත
සාද තෙපුල් නොම තෙපලත

ගොහොරු කළල් මත ම  අතුළ
මහරු තෙත් පෙමකි සුපතළ
ළහිරු කිරණ  සදිසි පුවළ
රුහිරු බැතට හැරිණි උදුල

Saturday, May 18, 2013

බකමූණා වීදි බසී......



රාජිත.. රාජිත.. රාජිත.. රාජිතයෝ.............

"බකමූණා වීදි බසී"
පෙන්නමුද
අපි
මහරගම හන්දියෙයි
කිරිබත්ගොඩ හන්දියෙයි
මුලින්ම
රටටම පබ්ලිසිටිය දීල.
.
.
.
හැබැයි දවල්ට
.
දැන්
ලයිට් නෑ
පහනුත් නෑ

Thursday, May 9, 2013

නෙත් කැලුම්



නෙත් කැලුම් (ආදරේ සිහිනෙකි)

ගායනය - සුරංග ලක්මාල්
රචනය - උදාර ප්‍රගීත්
සංගීතය සහ නිෂ්පාදනය - බිම්සර වලල්ලාවිට
ගිටාර් වාදනය - චන්දන සනත් කුමාර


http://www.youtube.com/watch?v=ykGKfrV-Chs

Thursday, April 25, 2013

නිහඬතාවය....හරිම මිහිරී....!!!


මලක් ගැහුවමනම්
මම ඔයව
හම්බවෙන්න
ආසයි...
මතට හීනිවෙච්ච
ඇස් වලින්
ඔයා දිහා බැලුවම
ඔයා අහනව..

"ඇයි ඔය විදිහට
මාදිහා බලන්නෙ"

"ඒ ඔයා ගැන
තියෙන ආදරේට"

Wednesday, April 24, 2013

හැඟුම් බර කවි සිතක සෙනෙහෙබර ආමන්ත්‍රණය.....


හැඟුම් බර කවි සිතක සෙනෙහෙබර ආමන්ත්‍රණය.....
අප්‍රේල් මස 26 වන සිකුරාදා
ශ්‍රී ලංකාවේ වේලාවෙන් රෑ 9.00 ට....ලන්ඩන් වේලාවෙන් රෑ 10.00. ට...."කවි සිතක් අද්දර..."
සොඳුරු කවි සිත......සුරංග ලක්මාල් කිවිඳුන්.......සඳස රේඩියොවෙන්....
http://www.youtube.com/watch?v=qkYw2a8c1ks

http://sandasaradio.lk/

Saturday, April 20, 2013

හීන නැවත තනමු...

දකින හීන
බිඳ වැටේවි
දුක හිතේවි
නෙතින් කඳුළැලි
සැලේවි
එහෙත් අපි හීන
දකිමු......
ඒ හීන
අපව ජීවත් කරාවි...
හිරු නැගේවි
මල් පිපේවි
ඒ මලුත් පරවේවි
එහෙත් අපි හීන දකිමු..

Thursday, April 11, 2013

අහිමි උණුහුම…………



වහිනවට මං හරි ආසයි, ඒ වැස්සෙ හඬ මට පුදුම තරම් සුන්දරත්වයක් හිතට අරගෙන එන්නෙ, වෙනදට මං වහිනකොට ඇස්දෙක පියාගෙන මුළු හදින්ම වැස්ස එක්ක අවනතවෙලා සංගීතයක් වගේ දැනෙන ඒ හඬට සවන්දෙනව.. පුදුම සතුටක් සැහැල්ලුවක් හිහට දැනෙන්නෙ. ඒත් ඒ සතුට සැහැල්ලුව මගේ හිතින් යන්න ගිහිල්ල . දෙනොදාහක් ගැවසුණ කුරු‍ටු මතක ඉතිරි කරල ගිය හොස්ටල් කාමරේ, කවදාවත් මට තනියක් නොදැනුණ කාමරේ, මහා මූසලම මූසල පාලුවකින් පිරිල. හිතට දැනෙන වේදනාව තවතවත් හන්තානෙ හීතල වැඩිකරනවා. මේ සරසවිය පුරාවටම ඔයා මට ඉතිරි කරපු මත , බලන බලන තැන මාව අරගෙන යන්නෙ ඔයාගෙ ළඟටමයි. ඒ මතක තව තවත් මාව වේදනාවේ පතුළටම ඇදගෙන යනවා. මම ඉවසගන්නම බැරිතැන දිගට වැවිල තිබ්බ කොණ්ඩෙ වැරෙන් ඇදගෙන ඇදගෙන ගියා. ඇ‍ඳෙන් නැගිටල ගිහින් පුළුවන් තරම් හයියෙන් කාම්රේ බිත්තියෙ ඔලුව හප්පගෙන හප්පගෙන ගියා, නිලංකාරවෙන දෑස් අතරෙත් මට මැවිල පේන්නෙ ඔයාගෙ රූපෙමයි, ඒත් මං තව තවත් ඔලුව බිත්තියෙ හප්පගෙන ගියෙ මුළු හොස්ටල් එකම දෙදරන්න. ඒ එක්කම මට වාරු නැතිව එහෙමම බිම ඉන්දවුණා... ඔලුව පුපුරු ගහද්දි එලියෙ වැස්ස වගේම සැරට ඇස් දෙකෙන් කඳුළු කඩන් වැ‍ටුණ. මට ඒත් වේදනාවක් දැනුණෙ නෑ ඊට වඩා මගේ හිතේ තිබ්බ ගින්දර ගිනි කඳක් වගෙ ඉහලට මතුවෙමින් මාව ගිලගනිමින් තිබුණ , මේ සේරම මගේ වැ‍රැද්ද........... මං ආයාසයෙන් නැගිටල අමාරුවෙන් ඇඳට නැගල ඉඳගත්ත.... දැස්දෙකේ පිරෙන කඳුළු කම්මුල් දිගේ ගලාගෙන හැලුණා .. ඒ කඳුළු වල මට දැනෙන්නෙත් ඔයාගෙ උණුහුම. වැඩිවෙන වේදනාවත් එක්කම මං තදකරල ඇස්දෙක පියාගත්ත..

හීන අතහැර......



අතීතය මා හැඳින
ගත්තෙමි
අඳුරු වන පෙත්
එලිය මංපෙත්
විනිවිදිමි
සිසාරා ඇවිද්දෙමි,
ජීවිතේ මැවු සිහින
කිසිවක් එහි නොදැක්කෙමි
ක‍ටුක කර්කෂ
දුකම පමණක්
නැවත වින්දෙමි...
පෙණ බුබුළු තුළ
ගෙවූ ජීවිත
පාවි පාවී ඔහේ ඇදෙනා
හැටිද දු‍ටුවෙමි

වැරදිකරුවෙකු ද... නොවෙද... මං....?

දිනෙන් දින මැකීයන මුත්
ඔබ  පැළැන්දුව
මුදුවෙ සළකුණු
හිතින් කෙලෙසක
ඉවතලන්නද ,
දෙනෙත් පි‍ටු පස මැවෙන
මතකය..
ටිකින් ටික ඔබ දුරස් වූවද
අහිමි සෙනෙහස කඳුළු අතරින්,
සිය දහස් වර නුඹ
පෙනී නොපෙනෙයි
විදුලියක් සේ
ගගන දිලිසෙන,

Monday, April 1, 2013

සිත පාරන මතක..





හිත නොසංසුන් වුණාම  පොඩ්ඩක් තනිවෙන එක තමයි හොඳම දේ. එහෙම හිතන ගමන් මම කොට්ටෙ ඇඳේ විට්ටම හේත්තුකරල ඇඳේ ඇලවුණා.  වෙලාවකට නිහඬතාවත් හරිම ඝෝෂා කාරීයි. ඒ තනිකමේ  නිහඬතාවයේ ස්වභාවය , අපිව ජීවිතේ අඳුරු අහුමුලුවලට නොදැනිම ඇදගෙන යනවා.  කොයිතරම් අමතක කරන්නට හැදුවත් හදවතේ ඇනිච්චි ක‍ටුවක් වගේ ඒවෙලාවට පරණ මතකයන් අපිව පාරනවා. ආදරේ කොයි තරම් පුදුමාකාර දෙයක්ද ...? වෙලාවකට දුකත් වෙලාවකට සතුටත් අරගෙන එන්නෙ අදහාගන්න බැරි විදියට.  අපේ ආදරේ හරියටව හින්දි චිත්‍රපටයක් වගේ කියන එකට ඕනතරම් සාධක මට ඔයාට ඉදිරිපත් කරන්නට පුළුවන්. මං ඔයාට ආදරේ කරන්න පටන්ගත්තෙ ඔයාව දකින්නත් ඉස්සෙල්ල. ඒක කොහොම වුණාද කියල මම අදටත් දන්නෙ නෑ. මම ඔයාට ආදරේ කළේ  වෙන කිසි දෙයක් නිසා නෙවේ ඔයා හින්දමයි.. මොකද මගේ ජීවිතේ බලාපොරොත්තුවුණ සිහින චරිතයේ වැඩි හරියක් ඔයාට තිබුණා.  මේ තරම් ආදරයක් කොහොම මගෙ හිතේ තිබ්බද කියල මටම තේරෙන්නෙ නෑ.. වසර දෙකහමාරක් කියන්නෙ  පුංචි කාලයක් නෙවෙයි . මගේ ජීවිතේ වටිනාම කාලෙන් අවුරුදු දෙකහමාරක් මං ඔයා වෙනුවෙන් කැපකළා.  මට වෙන කිසිම දෙයක් ඕන වුණේ නෑ, ආදරය, නිදහස විතරයි මට ඕන වුණේ . රාගයෙන් තොර ප්‍රේමයක් නැහැයි කියල කිව්වට මට ඔයාගෙ ආදරේ ඇතුළෙ ඒ විරාගික පාරිශුද්ධ මොහොත අනන්ත දැනිල තියෙනවා..

Saturday, March 30, 2013

සපත කළ ප්‍රේමයද මේ....

නුවන් බැමි බිඳ
ගලන දුක් ගඟ
ඔබ නිසාමයි
ඉපදුණේ
ඉදින් කිවමැන
තවත් කුමකට
ළඟ ‍රැ‍ඳෙන්නද
මම නුඹේ

Wednesday, March 27, 2013

(කෙටි කතා) එදා සහ අද ...



ඈගේ බඳ වට අතක් යවා මා ඈ මා අසලට ඇදගත්තෙමි.. තුරුළු වෙමින් හුරතල් වදන් දොඩමින් ඈ සමඟ කොතරම් දුරක් පැමිණියේදැයි නිනව්වක් නොවීය.
විටෙක දෙපා බිම අද්දමින් එකිනෙකා පසුපස එලවමින් තවත් විටෙක කෝච්චියක් මෙන් ඈ ඉදිරියට තල්ලු කරමින් වෙරළ දිගේ ඇවිද්දෙමු, මද සුළඟ අප ගත විඩාව නිවමින් හෙමිහිට හමා ගියේය.අප දෙදෙනා අතර සුළඟට රිංගා යාමට තරම් වත් ඉඩක් නොවීය. ආත්මීය කතාවක සමවැදෙමින් අපි ගමන් කළෙමු. කාලය පිළිබඳ නිනව්වක් නොවීය. අප දැහැන බිඳින්නට සමත්වූයේ එක්වරම හූහඬ නගමින් වේගයෙන් ඇදීගිය දුම්රිය පමණි... සවස හිරු අප රන් හිරු ‍රැසින් නහවමින් ඈත ජල තලයේ කිමිදෙමින් රාත්‍රියට අඳුර එකතුකරමින්, හෙමිහිට සැඟව යන්නට පටන්ගෙන තිබුණේය.අප යන ගමන් දුර වැල්ලේ එරුණ පාසටහන් අප යන ගමනට එකින් එක පාසටහන් එක්කරමින් අප පසුපසින් අපත් සමඟම පැමිණියේය………………………………………………

Friday, March 22, 2013

ශේෂ වූ ප්‍රේමය ....



ප්‍රේමයේ රංගනයෙන්
බැරිවූ,
ශේෂයම
සතුට කොට
ජීවත්වන
ගැහණු ඇත ලොව,
නෙක අවමන්
මායිම් නොකර තුට්‍ටුවකට...
විඳවීමද වින්දනයකි
ඇයට,
පිදූ පිවිතුරු
ආලය මතින් ලද...

අමාවක පැමිණිල්ල



.
සඳවතියගෙ
වලාකුළු සළුව
උනාදමා ඇත
සැඩ සුළඟ,....
දැන් ඈ නිරුවතින්
කෙලෙස පැමිණෙන්නද
වහා ඉල්ලා අස්කරගන්න
ඔබේ පැමිණිල්ල

අලුත් පෙම්වතියක් ඇවිත්....



පරණ අහසෙ,
අලුත් වලාකුළක්,
.
.
අයියෝ........

Wednesday, March 20, 2013

නුඹ දන්නෑ අම්මේ........


ජැන්ඩි පහට මං ඇන්දට
සරුවට වගෙ මං උන්නට
සළකන්නට උඹට තවම
අත සරුනෑ අම්මේ...
පාන්දරින් හැමදාකම
අවදිවෙලා බත් තම්බල
එදා වේල සරිකරනව
උඹ තවමත් අම්මේ...
රෑ තුන් යම කෙඳිරි ගගා
කැහැ කැහැ පපුවත්
අතගා ඉන්නා හැටි
දකිනා විට පපුව දනව අම්මේ..
ගමේ පුංචි ඉස්කෝලෙන්
කොළඹ මහා කොලීජියට
එතනින් මං සරසවියට
ගියා තමයි අම්මේ...
නාට්ටිවල මං හිටියම
රූපවාහිනියෙ දු‍ටුවම
අහළ පහළ ඉන්න අයට
පෙන්නුවාට අම්මේ...
උඹේ හීන මට තාමත්
හැබෑ කරන්නට බැරි බව
නුඹ දන්නෑ අම්මේ...

Tuesday, March 19, 2013

"මහලු පෙම"

නුඹෙ රුව දැක්කම මගෙ සිත ගැස්සෙන
හැටි නුඹ දන්නෑ මියුලැසියේ
ඇහි බැමි ඉස්සෙන පැද්දෙන තාලෙට
නිතඹ සැලෙයි වැද කෙහෙ වැටියේ

හංස ලතාවට බඳ නැළවෙනවිට
සිත හැඟුමන් පිබිදෙයි
නෙලුම් විලේ පිපි දහසක් මල්වල
සුවඳ නුඹට සමවෙයි

Wednesday, March 13, 2013

********

මද සිනාවක් පෑව මනරම්
ළසඳ අහසේ පායලා
තෙළිතුඩින් ඇඳි ඉරක් විලසට
හීන් මදහස ගෑවිලා
සෞම්‍යවන්තිය ඔබේ වතමට
පෑ සඳකි අතරින් වලා.
දෙනෙත් අග ‍රැඳි
හීන කැටයම්

Tuesday, March 12, 2013

ශුන්‍යවූ මිනිසා.


අනියත බවට පෙම් බැඳ
අස්ථිර ලොවට ලොබ කළ
නැසුණු තැන සියල්ල
ශුන්‍යවූ මිනිසා
දෙනෙත් අභිමුව මැවෙන
මිරිඟු පසුපස ඇදුණ
කාෂ්ටක බිමක
අතරමං වූ
ශුන්‍යවූ මිනිසා
මහා බර සුසුමක් පිටකොට
ජීවය අගින්  ගිලිහෙන
නිස්සාර ජීවිතය,

ටිකෙන් ටික දැවි දැවී හළුවේ

ටිකෙන් ටික දැවි දැවී හළුවේ
බි‍ඳෙන් බිඳ ජීවිතේ
සුසුම්පොද ‍රැඳි සුළං ‍රැලි
එක්වේ ගුවන්තල
අඩ අඳුරු ජීවිතයේ

සිහින ‍තෝරා එකිනෙක ගෙන
තනපු ජීවිතයේ
ඔබයි සොඳුරිය මා ඉරුව දුම් රොද
දවා හළුකළ
වසන්න්තය ‍රැඳි
සොඳුරු දිවිය මගේ

Monday, March 11, 2013

ධූම කේතුවක්

චක්‍රාවාටයේ සැරිසරා
මං හෙව්වා
ධූම කේතුවක්
සැම කල් නොදකින
සැම කල් නොපෙනෙන
වල්ගාතරුවක්
පාවී ඈත අවකාශයේ
ඉගිල ගියා
මං තනිවම....

Thursday, March 7, 2013

බොරුකාරී _


හීනයක් වගේ ඇවිත්
වලාකුළක් වගේ
මාව වහගත්ත ඔයා,
පිණි පොදක් වගේ
මගේ සිරුර කිළිපොලපු
ඔය දෙතොල්,
භාවනාවක් වගේ
මා දැහැන් ගත කරපු
ඔය ලොකු ඇස්,
යලි ආයෙ නෑ නේද
රත්තරං......?
ඔයා හරි නපුරුයි.
මට නොකියම
යන්න ගියේ.
මා එක්ක තරහද..?
නැත්නම් ආදරේ වැඩි
නිසාද....?

Wednesday, March 6, 2013

දැවි දැවී උන්නා කාලයක්
ඔබ ආයෙ එන්නට හිතයි නම්
එන්න නොහිතා යලි වරක්
දෝත පා මා වැළඳ ගන්නම්
පෙර පුරුදු සෙනෙහසින්

නොයෙක් මල් පිපුණා නම් තමයි
හැඩට සුවඳට නෙත් ඉමේ
නමුත් ඔබෙ මුදු සුවඳ නම්නෑ
දැනුණෙ ඒ මල් අතරේ
ඔබ එන්න එනවානම් යලිත්
මගෙ ආදරේ ඔබ පමණමයි

Tuesday, March 5, 2013

"සැඟව ගිය නුඹට"

අවරදිගින්
හිරු බැස යන
ගොම්මන් අඩ අඳුරු
පැයක
කැදලි සොයා
සෙමින් ඇදෙන
කුරුලු කොබෙයි රෑන් පිටින්
අහස පුරා සැරි සරනව
පුර පෝයට පෙහෙවත් වී
රෑ පුරහඳ
සළු පොරවන්
හෙමි හෙමිහිට භාවනාව
සක්මන ලෙස පෙරට ඇදෙයි
රෑ උළමෙකු බෙරිහන්දෙන
මගෙ සියොළඟ සලිත කරයි.

Monday, March 4, 2013

උමතුව _____


සුවඳ දැනුණ ආදරයක
හිත හංගන් උන්න කලක්
ජීවිතේම ඔබට දීල
බලං උන්න සතුටින් මං
මගේ හුස්ම පොද ටිකටික
අරගෙන ජීවය අරගෙන
අතර මගක අත හැරියා
ගොඩක් දුරක් අරන් ගිහින්
ඔයා ගියපු පාර පුරා
ඇස් දිව්වා දහස වරක්
අතර මංව මං මා තුළ
වි‍ඳෙව්ව දස දහස් වරක්
අතීත්යේ මං ඔස්සේ
එහාමෙහා ඇවිද්ද මං
ඔබේ සුවඳ
හැම තැනකම
හීනෙන් රස විඳාමං

Saturday, March 2, 2013

පාළු අහසෙ කිරිපාට
හඳ මහමුහුදෙ
දිය වෙවී
කිරි පැහැ කරයි
‍රැලි දිය.......
හාත්පස හෝ හඬ
සංසුන් සුළඟ
වෙලයි සියොළඟ
තනිකමින්
ප්‍රදීපා ගාරයෙන් ඈතට
දුවන විදුලි
ධාරාව පසුපසින්
එළියේ සොයයි
ඔබෙ රූපය
නිසල ගල්තලය
මත සිට,

ඔබ නැතිව ....



නෙක කුසුම් නොපිපේවි
විහඟ ගී නෑසේවි
රෑ සඳත් නොනැගේවි
හිරුත් සැඟවීයාවි

තරු පොකුරු වියැකේවි
ගගනතද කළුවේවි
වලා විසිරීයාවි
සිහිල් වැසි නොලැබේවි

මදනලත් නැතිවේවි
ගලන ගං වියැලේවි
සයුර ‍රැලි නොනගාවි
ගසුත් ඵල නොම දේවි

Friday, March 1, 2013

මා හිරුය ඔබ සඳුය

මා හිරුය ඔබ සඳුය
එක විටෙක හමු නොවෙන
මා සරතැසය ඔබ මදනලය
එක තැනෙක නොම ‍රැ‍ඳෙන
මතු මතුත් පතමි
ඔබ කුසුම
මා සුවඳ වන්නට

පෙම්බර ගුරු මෑණියනි..


ශිල්ප සතර දී අප සනහන්නට
දිවා‍රැයේ වෙහෙසී
අලුයම අරුණලු නැගෙන පැයේ
සිප් කිරි පෙවුමට පා නගනා
පෙම්බර ගුරු මෑණී
ඔබ යන මහමග පියුම් පිපේවා
ගුරුමව් සරස්වතී

රෝහලේදී....


බලා සිටියෙමි මග
මතුවන තුරු
හුරු රුවක් දන්නා රුවක්
වාට්‍ටුව දොරකඩින්...
ඇඳන් වට රොක්ව
සුවදුක් විමසනා විට
අනෙක් අයවලුන්ගෙන්
ඉහිලුම් නොදුන් සිත
බරකළා නෙත කඳුළින්
රෝගයේ වේදනාව
පරයමින් රිදුම් දුණි
හදවත......

Thursday, February 28, 2013

ආදරයේ විකාශනය _



ආදරයේ විකාශනය
______________

කෑල්ල
බඩුව
.
.
එයා
අරෙයා
මෙයා
.
.
.

ප්‍රතිඥාව


මම සතුන් මරමී
අනුන්සතු දේ ගනිමී
කාමය වරදවා හැසිරෙමී
මුසාවාදද පවසමී
මත් පැන් මත් ද්‍රව්‍ය ගනිමී

කුංකුම අංජන ......

දිගුදෑසේ කෝල බැල්මෙන් මා
සතපාවී සිහිනයේ රන්දා
නිල්දෑසේ කාන්තියෙන් සිත මා
මත්වෙවී දෑස මධු කැන්දා.

රන් තරු පායන රෑ දුර අහසක
මන මත් කරවන ඔබෙ පියකරු හඬ
රන් ස්වරයක් සේ මගෙ සවනත වැකුණා

Thursday, February 21, 2013

අඬහැරය _


මගෙ බුදු අප්පච්චියා.............. බුදුන් දැක නිවන් දැකපා............න්
මගෙ බුදු අප්පච්චියා...............

පුරන් කුඹුරු...... නොබලා දිව..... රෑ හෑවෝ......
දිය බැඳි කුඹුරු........ එරි එරි මඩ නුඹ හෑවෝ....... ඕ.......
බඩ සාගිනි ඉවසා දිග...........ටම හෑවෝ.........
නගුල පිටට...... නුඹ හයියට...... බිම හෑවෝ........ඕ........

Wednesday, February 20, 2013

යෙන් කාදල් යෙනකුම් වර්නුම් නිල්ල..!

සුරතින් මකා කුංකුම නළලත  පෙරදී
පිච්චපොකුරු විසිකොට වරලස පැළඳී
පා බැඳි මිණි පාසළඹද මග වැරදී
නුඹම නුඹව සඟවාගෙන එන මගදී

Monday, February 18, 2013

එක පාට සමනල්ලු ..!


මට හැ‍ඟෙන්නෙ
ඔයාවනම්
මට දැනෙන්නෙ
ඔයාවනම්
මට ඕනෙ
ඔයාවනම්
මගෙ සතුට
ඔයාමනම්

Saturday, February 16, 2013

ඉතින් මා කුමක් කරන්නද...?


මා
කුමක් කියන්නද..?
කුමක් කරන්නද..?
ඔබ මා අතැර ගියා...
ඔබ උසස්නෙ
ඔබ දෙවියන් හා සමානයිනෙ
ඔබට උවමනාවිට පැමිණ
ඔබට උවමනා මොහොතෙදි
මා හැර ගියා
ඉතින් මා කුමක් කරන්නද...?

Friday, February 15, 2013

කුකුළා වන්නම.

උඩරට නර්තන සම්ප්‍රදායානුකූලව දක්නට ලැබෙන
නාද රටා අනුව මා විසින් නිර්මාණය කරන ලද
අලුත්ම වන්නමකි. තානම වන්නම් 18 අයත් නොවන අතර
මාගේම නව නිර්මාණයකි.මේ වන්නමේ කස්තිරම් , අඩව් සීරුමාරු සඳහා, සුළු මැදුම් දෙතිතට
අයත් ඕනෑම කස්තිරම් , අඩව්, සීරුමාරු යොදා ගත හැක.

කුකුළා වන්නම.

නොකල් පෙම .....................


සඳ මතට වී විසුල තරු කැට
සිත් අහස පුරා
ඉඩදී සුමුදු කුමුදකට
නික්මන් කළා
නේරන්ජනා ගං තෙර

ලිය වැලක පැටලී හංස තුඩ
අකල් ලෙස මිය ඇදුණ ප්‍රේමය
ඉරිතලා පෙම සිඳුණු හදවත
මියැදුණා පෙම් පිරුණු හඳවත

මහෝඝයකට හසුවූ සැළමුතු පෙම
නොකල් වැස්සට පාට ගිලිහුණ
විස බඹර තුඩ ඉසිඹුවක් කළ
දහස් පෙති මළක
මලපුඩුවක දියවුණ
කපුරු මලකට ‍රැව‍ටුණා.

^සූ

Monday, February 4, 2013

මං ආදරේ කළා.!

මම සුවඳ විඳපු කෙහෙ‍රැල්
සිරිය විඳපු අක්බඹරු
ජීවිතය සොයපු ලස්සන ඇස්
සුසුම් සුවඳ විඳපු පුංචි නහය
ආත්මයම පුරව ගත්තු
සුමුදු පුංචි දෙතොල
ආදරෙන් සිපගත්ත කොපුල්

Saturday, February 2, 2013

A හීන..........!!!


A කාලෙ ඉඳලම
A දෙන්නගෙත් හීනය වුණේ
A ලෙවල් වලට
A තුනක් අරන් මම කැම්පස් යනවට
A වුණාට
A හීනය
A මේ අත පෙරලලා
A කාලකන්නි මගේ
A තුනක් ගන්න තිබ්බ
A හීනය විනාස කළා
A කට මට කරන්න දෙයක් නෑ
A වුණාට අපෙ අම්මලට
A ක කිව්වට තේරුමක් නෑ
A තුන නැතිවුණේ
Z ප්‍රශ්නයක් නිසා කියල
A ව හදපු එවුන්වත්
A ගැන හරියට දැන්නෙ නෑලු.
A විදියට
A හීනය දියවුණාට
A තරමට මම දුර්වල නෑ
A නැතත්
A අභියෝගෙ මම ජයගන්නව..

^සූ

Thursday, January 31, 2013

"ශ්‍රී සිද්ධාර්ථ ගෞතම"



අඩ අඳුර තුළ
සුමුදු දෙතොලක
සුවඳ කෙසක
සුසුම් පොදක
මුදු තිඹිරි
යුවල'තර
පසක් කර
සත්‍යය

Monday, January 28, 2013

කොපු..!

නසන
තනන
දෙකටම
ආවැසි
කොපු
හැ‍ඟෙන
දැනෙන
අවැසි තැනෙක
සෘජු විය යුතුය
පුරුෂ ලිංගයක්

Saturday, January 26, 2013

ජය හෙළදිව වන්නම..

(සිංහල උඩරට නර්තන සම්ප්‍රදායේ එන සැවුළා වන්නමේ නාදරටා අනුව රචනා කොට ඇත)


මාත්‍රා :  1 2 / 1 2 3 / 1 2 / 1 2 3

තානම : 
තම් තම් දන තානාම් දන තම් දන තානාම්
තම් තම් දන තානාත් තෙයි තම්ද......... නාතම් ද නා නා.....

හෙළ හිරු තෙද ‍රැන්දූ... දස බල ‍රැස බැන්දූ
ලෝ තුළ නම ‍රැන්දූ සිහ... ලුගෙ හෙළ දී...පේ......

රට රකින්න හැකිද බොලව් කල්ලි වලට බෙදිලා.........?


බිඳිව් තම කඳ සිතව් එකලෙස රකින්නට මිනිසත් බලේ
නසව් ඊර්ෂ්‍යා මාන වෛරය නගව් ගත ඇති සිංහ ලේ
සිතව් දෙවරක් නොව දහස්  වර එකයි පැහැ ගත දුවන ලේ
ගනිව් දනයිනි සිහල  කගපත් රකින්නට දෑ සිංහලේ

හෙන ගැහිලද තොපෙ සිරසට මේ ගැන නොසිතන්නේ
මහ ජාතිය ඇයි නුඹලා මේ හැටි බය වෙන්නේ
වලකපන්න නුඹලාමයි උන්ට බාර දුන්නේ
පැනයන්නට පෙර අසු ඉස්තාලය වහ පන්නේ

Wednesday, January 23, 2013

"අන්සතු නොවේවා මගෙ ලක් දෙරණ මතූ



මතු මතු ඉපිද දිවි සරි කරගන්න සිතූ
පිහිටා පසඟ වැඳ සිප තුන් සරණ පැතූ
නන්දෙස දනන් ගැන එක මව් සිතින් සිතූ
අන්සතු නොවේවා මගෙ ලක් දෙරණ මතූ

පෑව ලෙවන් හට නිති සුව මෙත් කරුණා
සමනොළ පියවුරෙන් මුදිතා ගුණ පෙරුණා
මහවැලි කැලණි කළු වලවේ ගං පිරුණා
ඒ කිරි දසත කෙත් ගොයමේ කිරි වැදුණා

වීථි දිගේ දිවි සරනා මනු සත්තූ..........!!




ඉපදුණ පවට දුක් උහුළන බෝසත්තු
වසවතු සමඟ යුධ වැද ජය අරගත්තු
නෙක නෙක දනගෙ සොඳ කරුණා ලැබ ගත්තූ
වීථි දිගේ දිවි සරනා මනු සත්තූ

මහල් දෙමහලින් සැදි මනරම් මැදුරූ
දැසිදස් යාන වාහන පලසින් ඇතිරූ
කට දිව පිනන රස ආහර, නැත සොඳුරූ
බල රඟ රඟන යාචක මහරූ අයුරූ

Wednesday, January 16, 2013

ලාබායි..... ලාබායි.....
දැන් විකිණේ........
.
.
තරාදියක්,
කඩුවක්,
දෙවඟනක්

Sunday, January 13, 2013

වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි...


සෙල් ලිපියක තියෙන
අකුරු වැලක් මෙන්
ඔබ අපැහැදිලියි
වෙරෝනිකා...
හිම කීරි ගැහෙන
හීතලට
එක සුසුම් පොදක්
උණුහුම් වෙන්න මදිබව
ඔබට හැගෙනවද?
වෙරෝනිකා...

On line දේශ ප්‍රේමියෝ

රට ජාතිය ආගම
වෙනුවෙන්
දිවි පුදන
පුරන් අප්පු
කැප්පැටිපොළ
මද්දුමබණ්ඩාර

Thursday, December 27, 2012

ඉඩක් දෙන්න මට හිතන්න..!

ඉඩක් දෙන්න මට හිතන්න
මටත් අවැසී ජීවිතේ
වසන්තය මල් මකරන්ද අරගෙන
සිහිල් සුළඟත් සමඟ ඒවී
ඔබ එන්න මුදු සිනා පිපෙන 
අලුත් සෙනෙහස අරන්

Saturday, December 15, 2012

කතා කරන ඇස් අතරේ

කතා කරන ඇස් අතරේ
හීන මැවෙනවා
දරා ගන්න බැරි තරමට
දුක වැඩි වෙනවා
හීන් සිනා කඳුළු වෙවී
ගලා හැලෙනවා
මුදු කෙහෙ‍රැලි
සයුරු තෙරේ මා තනි වෙනවා..

Tuesday, December 11, 2012

නමුනු කුල මත සුපිපි සඳ වත

අවරගිර හිස ගිලෙන හිරු රස
නමුනු කුල මත සුපිපි සඳ වත
නොලිය හැකි කවක
සිත නිදන් කොට
පලා යන්නට .... ඉසිඹුවක් සොයමී

Sunday, December 9, 2012

ගෑනුළමයි
ලංකාවෙ,
.
.
"සි (ලි) ම්"

ආශ්චර්‍යය.



කන්න
අවැසිවිට
කබරයාද
තලගයොක්
කරගත හැකි

නැන්දයි..... ලේලියි.....



පෙරසිට පැවත එන
සිරිතට කාර බැඳගෙන
කැන්දා ගෙදර ගෙන
ලේලි ගෙන්වා රබන් ගහගෙන....

පුතුට දුන් පාවා
පෙර ඇගේ හොඳ කීවා
පසුව රොස් වූවා
නැන්ද ලේලිය රන්ඩුවූවා.....

පාට හීන..........



මගේ සිත් ආකාසෙ වැහි වලා පිරෙනවා
මහහඬින් අඬන්නට සැරසෙන්න හදනවා
සැඩ සුළං වේගයෙන් හද පුරා හමනවා
ඒත් මං දේදුන්නෙ පාට හත ගනිනවා

නෙකපාට දුර ඈත ආකාසෙ දිළෙනවා
මතක සැමරුම් අතර දෑස් බොඳ කෙරෙනවා
හිත පුපුරු ගහනවා සියොළඟම දැවෙනවා
ඒත් මං යලි යලිත් හිනැහෙන්න හදනවා

දුර පාළු මාවතක ඔහේ සැරි සරනවා
උණුහුමට දැවටිච්ච සුවඳ මට දැනෙනවා
ඔබේ මුදු බඳ වටා මගෙ දෑත වෙළෙනවා
කඳුළු හීතල වැටෙන, සිහින ලොව බිඳිනවා

ගිය ආපු සැම තැනම ඔබ ඇතැයි සිතෙනවා
මා අතර මග තාම නුඹ කොහෙද සොයනවා
කිසිදාක ලංනොවන මිරිඟුවකි හැ‍ඟෙනවා
කොහෙදි හෝ හමුවෙන්න සිත පෙරුම් පුරනවා.
මියෙයි මා
හද හැඟුම්
බි‍ඳෙන් බිඳ
ටිකෙන් ටික...
ගිලෙන සේ
අවර හිරු

වවුල් පෙම.......



විසල් හදතුර
අතු පතර
විහිදී
සාරෙට,......
ගිරා මලිති බටිත්තන්
වෙනුවෙන් සැදුණු
ප්‍රේම ඵල,

ළඳක් දු‍ටුවෙමි ගසක් මුදුණේ.....



වානු කෙලෙස දු‍ටු සඳ, අරුමෙකි දැනුණේ
ලේනු නොව, රුවට ළඳකිය ගහ මුදුණේ
පානු පෙනේ පෙළහර ඇඳි වත ගුවනේ
රේණු නැති මලකි දෑසට මට පෙනුණේ

ලා රන් තිඹිරිය, සිප අතු පිපුණේ
රඹකඳ වන් දෙපයට කඳ බැදුණේ
නාබි වටොට සිප සිප බිම ඇදුණේ
දෙයියනෙ..! මේ ගස කිම මා නොවුණේ
ටච් නම්
මරු
ඒත්
බිව්වම තමයි
අවුල්...!!

මධු සමය...



වළා පෙළ යහන මත හිස ගසාවියේ
මුවාවෙලා පුන්සඳ සතපවා ළයේ
නවා දෙදණ වැලපී ඉකි ගසා ‍රැයේ
සමා මගෙන් නොයදින් මා ප්‍රියා වියේ

සොයා කුමර බමරුන් වන විමානයේ
නගා දෙපිය පියමැන වී ප්‍රමෝදයේ
නොයා යනෙන මග වැරදී විලාපයේ
ඉතින් තවත් නොහඬන් දේවතාවියේ

__මල්වරය__



මලක් තිබුණා හුඟක් ලස්සන
දොළක් ගැලුවා ඉවුරු බිඳගෙන
පිපී ආවා පුරන සඳ මෙන
පර තෙරක් නැත හැඟුම් පීදෙන.

සැකයේ පහර..!

සැකයේ පහර ලැබ
පැළුණු හද මුට්ටියෙන්
වෑස්සිණ
ආදරය බි‍ඳෙන් බිඳ
තවමත් ඇත
සැකයේ පළුද්ද
සමග ආදරය හිස්වූ

Monday, November 5, 2012

තාත්තේ...!

ගෙදර හිටියත් කතා නොකරන
ගෙදර නැති විට කරුණු විමසන
මෙහෙකරුවෙකු මෙන්
නිහඬවම මගේ කටයුතු සියල්ල සපුරා
තේ කෝප්පය පවා ළඟට ගෙනත්
මට සළකන

Sunday, November 4, 2012

දොඩමළුව..!

හමුවෙමුද
අදත් ?
මී බිඳක් තොලගාමින්
පෙම්බස් දොඩන්න
පෙරදින හමුවූ
සෙව්වන්දිය මතම

වැහි මොටද.....!!!

හනික ගෙදරට යමන් අම්මේ
වැස්ස එනවා අදත් හනිකට
පුංචි මල්ලිගෙ අකුරු සේරම
අරන් උන්දා ගියා ඈතට
වප් මහේ අකලට ඉඩෝරෙට
ගොයම් සේරම පිච්චුණා වෙද
ණයත් එක්කම අප්ප දැවුණා
ගොයම වාගෙම වැව් පිටිය උඩ

නාරි දේහේ..!

නමක් නැති නිමක් නැති
ඉමක් නැති පෙමක් වෙති
පෙලක් නැති කවක් වෙති
සිතක් නැති කෙනෙක් ඇති
මලක් වෙති හැඩක් නැති
තෙතක් නැති දහක් පෙති
කොතෙක් කීවත්

ජීවයක් වලකන්නේය..!!

මොළකැටිය
සුදුය
සුමුදුය
සුන්දරය
එහෙත්
ජීවයක්
වලකන්නේය....!!!



^සූ 

උදා වෙනකං..!



කැලණි ගඟ අසබඩය
කැදලි කුරුලු රඟදුන් ඉසව්වය
ලොවට බැරිවූ කැදලි මත
ලගින පාත්තයෝය
වසන්තය
වසරකට
දෙතුන් වතාවක් එන්නේය
කදමලු බලාපොරොත්තු
මහා පෙරහරින් වඩින්නේය

Tuesday, October 2, 2012

ආසියාවේ ආශ්චර්යය. අරුමයක් නොවේද.

ඉනික්බිති
එසේ විය සබඳ......
වසර දෙදහස් පන්සියයක
ඉතිහාසයක්
ප්‍රෞඪ ඉතිහාසයකි.

.
විශ්ව කර්ම හෙළයන් විසූ
මහා දාගැබ්
මහා වාපීන් කළ
ලොව මවිත කළ නිමැවුම් කළ
මහා පඬුවන් , කවීන්
ලියන්නන් විසූ
තේජෝ බල පරාක්‍රම ධීර වීර
සිංහයන් විසූ
ධරණීතලය,

සහස් සුවහස් කල් පිරූපෙම

කුමට දහසක් දෙනෙත් පොපියන
නොමැතිනම් ඔබෙ රුව දකින්නට
හමන මදනල සමඟ මිතුරුව
ගයන ගීතය තනුව කිවමැන
සහස් සුවහස් කල් පිරූපෙම

අහිමි වන විට දෙනෙත් අභියස
තවත් කුමකට ගයනු පෙම්ගී
කඩාලමි පෙම් පිරුණු හදවත

තක්කඩින්ගේ සත්ත්ව කරුණාව....



ජාතියේ මුරදේවතාවුන්ගේ
ඔලු, පාදඩයින්ගේ
අතින් පැලෙන්නට

දහස් ගණනක්
තරුණ ජීවිත
මත් උවදුරෙන් වනසන
අමනයින්ගේ
නරිනාටක වලට,
නීතිය වල් වැදීමට,
ඉඩදී

නිහඬව සිට

" රටකි "

රටකි
සකල ශ්‍රීයෙන්
විරාජමාන වූ
අන්ධ මුග්ධයින්
කණවැල අල්ලන

උන් අනුවම යන
අම්ම්බරු අනුගාමිකයින්
වෙසෙන'
විලි ලැජ්ජාවට
මුව වසන්නට
සරම ගලවා
හිසවසාගත්
ජාතියක් වෙසෙන....!!!

^සූ

අසම්මතය

අසම්මතය
ප්‍රේමය
රාගය
අතර
.

.
අතරමංව

පුර හඳත් ඈ වගේ

පුර හඳත්
ඈ වගේ
වළා අතර සැඟව
සුදු මුව වසාගෙන
දෙනෙත් සඟවාගෙන

මා ළඟට නෑවිත්
පාවෙයි
ඈතට
ඈතට

මා හඬනා, හද රෑ සැළුණා

මා හඬනා, හද රෑ සැළුණා
නුඹ මා නෙතු ‍රැඳුණා, බොඳවී රුව පෙනුණා
ඔබ මා රිදවා කොහෙදෝ ගියා, යලි ළංනොවෙනා ඈතක ගියා
සඳ රෑ අහසේ බොඳවී ගියා, තරු පවා වැලපුණා

ආ___රය

රතු රෝස මලක්
රෝස මලක්
සහ
මලක්
එක හිතක්.......
දෙනෙතක්
ගතක්..

මවයි අහස් ලොව රුවන් රස

මහ සයුරේ සිට මෙපිටට ආවද
සිත කළඹන මේ කිඳුරු ළඳ
මොළකැටි දෙපතුල් සුදු මුව හස‍රැල්
උකටලි මා සිත කරයි තද
නිල් දිය කෙහෙ ‍රැල් පවනේ ලෙළදෙන
පෙණ පිඬු මුතු දළ මවයි රස

Tuesday, September 11, 2012

"ශුද්ධ වූ සියල්ල කෙලෙසෙන්නේය"

සාධුකාර දෙති
සෙත් පැතෙති
පිරිත් පැන්
පිරිත් හුය
බැ‍ඳෙති
ආසිරි වැඩෙති
.
.
සුදු හඳිති
රහත් වන්නට
ඔන්න මෙන්න
හිඳිති

බාඳුරාව........

විහඟ තුඩකින් තැළුණු මලකට
යලිත් විකසිත වන්න හෙමිහිට
ළහිරු ‍රැස්වන් ස්නේහයක් ඔබ
අසල ඇත, මුත් නුඹ නිගා කළ

කපුරු මලකිය කලට නොපිපුණ
ලියතඹර මල වීය මට නුඹ

Friday, August 3, 2012

මිත්‍ර වරුනි,

මිත්‍ර වරුනි,
වෙඩි තියන්න
හැකියාව තියෙද්දිත්
ගල් ආයුධ පාවිච්චි කරන්නෙ
කුමට...?
නොදැනුවත් කමද?
මෝඩ කමද?

^සූ 

සත්‍යයක් කියමි...!!!!!


ඉඩ තිබිණි
ලොව වටිනාම වස්තුව,
.
.
ගැහැනිය

Tuesday, July 31, 2012

බිළිඳු..!

රැගෙන පැණි බිංදු
ඉරී ඒ බමරින්දු
උකුල නොම‍රැන්දූ
බිළිඳු, කඳුළකි නෙතට කැන්දූ ෴

^සූ 

සුදනෙනි

සුදනෙනි
අවැසිනම්
ගනුව
කෙළියට
වෙසඟනක්මි

[][][]

සමුදුර
කෝපයෙන් කෙතරම්
රළ පහර දුන්නද
නොසෙල්වෙත

සිත..!

කෙතරම් අගනෙද?
නොපෙනෙන
ඉන්ද්‍රිය,
සිත

............


රාත්‍රිය එනතුරු
බලාහිඳ
මල් සමඟ
නිදිවදින
බඹරු
ඉරත් සමඟ

උපාසකම්මා...



යන එන සැමතැන බෝම
කන කර හැඩට ඇඳීම
දන්න නොදන්නා සෑම
වෙයි මිතුරන්...

පොහොයට සිල්ද ‍රැකීම
බුදු දෙව් පුදද පිදීම
හයියෙන් බණපොත් කීම
ඇයට ප්‍රියයි…

Thursday, July 26, 2012

ඔය උරමඬලේ හිසතියාන ..................

 ඔය උරමඬලේ  හිසතියාන
හඬන්න ඇත්නම්
නෙත්  පෙති රතුවෙන කඳුළු බිංදු
හැලෙයි සත්තකින්
එක මොහොතක් මගෙ දුක අහගෙන හිඳින්න හැකිනම්
සුහදාණෙනි, මා ළඟ ඔබ ඉන්න රත්තරන්

Wednesday, July 25, 2012

මවකගෙ මරණය.......



ම'ළෙහි හොවා
ම' පණ පොවා
ම'දිවිදුන්
ම'දෙනෙත්
මත තබා
ම'හැදු
ම'පුතු
ම'දිවි ගත්
මරු විය
මටම.......


^සූ 

Monday, July 23, 2012

සඳ සිත්තම් කර අහසේ......

සඳ සිත්තම් කර අහසේ
වලාකුලක් මත හිඳුවා
තරු පොකුරක ගී ලීවා
ඔබේ පෙමින්
මද සුළඟේ තනුව සොයා
ඒ ගී පෙළකට අමුණා
වියෝ ගී සෙමින් ගැයුවා ඔබේ නමින්.

Tuesday, July 17, 2012

වල සහ විල

.
මහ වලක්
මැද මලක්
නොව වලක්
ඒ විලක්
.
.
.
මහ විලක්
දිය නැත, මලක්
නෑ විලක්
ඒ නම් වලක්

Monday, July 16, 2012

දේදුන්න වාගේ

දේදුන්න වාගේ පායන්න ඕනේ
ආදරෙන් යාවෙලා
ඒපාට වාගේ හිනැහෙන්න ඕනේ
මා හා තුටින් ළංවෙලා
නෑ කඳුළු දෑසේ මල් පොකුරු වාගේ
මල් මන්ද හාසේ සලා.....

Friday, July 13, 2012

පර චිත්තය විජානනය............



එකොමත් එක ඈත කලෙක
හීන් කෙන්ද ගම් පියසක
උගත් බවක් පෙන්නං හිටි
ගැමියෙක් උන්නා

ගමේම මහ මුලාදෑනි
කොයි කාටත් උපදෙස් දුනි
ඕන තැනක මුල්තැන ඔහු
මුලින්ම උන්නා

පන්සල පාසල කොහෙදිත්
මුලසුන දේශන ඔහුටයි
මහදැන මුත්තා වාගේ
පෙන්වන් උන්නා

Thursday, July 12, 2012

වන කොමලිය සුරපුරයක සිරි පෑවේ.............



පුන් සඳ ඉසින විට සඳ‍රැස් සොබා ‍රැයේ
අමරස කිඳුරු ගී නද සතපවා ළයේ
නැළවෙන කිරල විහඟුන් වී ප්‍රමෝදයේ
ගඟ දිය ගලයි නඟමින් ‍රැළි ප්‍රසාදයේ

කිරි දිය ගලන විට අහසින් මන නන්දා
නිල් තණ පලස ගත පිනි සිහිලස රන්දා
මදනළ ඇදෙන විට මල් මුවරද කැන්දා
ගහකොළ නැළවි නැළවී ඒ සුව වින්දා

Saturday, June 30, 2012

~මල් සහ කළු දෙබරු~

 කැකුළු මලක මල් මුවරද උගුල්ලා
පෙති පොඩිකර තූ තූ කොට සියල්ලා
දෑස වසා කට තදකර ගනිල්ලා
සෝක වෙවී අහසට දෙස් තියලා

නාථ සමන් පත්තිනි දෙවි වරෙල්ලා
දෑස ඇරන් වන මේ රඟ බලල්ලා
සාධු ගතිය ලොවටම පේ කරල්ලා
දෙන පුදගෙන බකන්නිලා ඉඳිල්ලා

Monday, June 11, 2012

............... කුවේණි...............



ඔද තෙද වැඩි ගත රන්වන් පෑයට රන් හිරු සේ දිළුණා
මහ පිරි වර මැද ඉඳු කිල සේ යස පුන්සඳ මන නඳනා
මුතු කැට සේ ‍රැස විහිදූ නෙත්තරු දු‍ටු මා සිත පිරුණා
දු‍ටු ක්ෂණයේ සිට තෙදවත් ආරිය විජය කුමරු සොබනා


සුනෙර පවර සේ දිලෙන බාහු යුග රනින් ඔපය කෙරුණා
කණක කටක මිනි පේ‍රැස් මුදු  නෙක අභරණ ගත ‍රැඳුණා
දුහුල් එ'පට සළු මිරිවැඩි සඟලේ ඔපය හැඩය දිළුණා
කැටි පුළුනේ සුව සුමුදු සොඳුරු ගුණ ඔබේ ළඟයි සිතුණා