Tuesday, March 5, 2013

"සැඟව ගිය නුඹට"

අවරදිගින්
හිරු බැස යන
ගොම්මන් අඩ අඳුරු
පැයක
කැදලි සොයා
සෙමින් ඇදෙන
කුරුලු කොබෙයි රෑන් පිටින්
අහස පුරා සැරි සරනව
පුර පෝයට පෙහෙවත් වී
රෑ පුරහඳ
සළු පොරවන්
හෙමි හෙමිහිට භාවනාව
සක්මන ලෙස පෙරට ඇදෙයි
රෑ උළමෙකු බෙරිහන්දෙන
මගෙ සියොළඟ සලිත කරයි.

හීන් සීත දියපාරක්
ඇදෙනවිලස
හද හරහා
නුඹ ගැන මතකය
හෙමිහිට රූට රූට
ගලා හැලෙයි
හඳ හෙමිහිට මෝදු වෙලා
සුදු වැල්ලේ හෙවනැලි
රටා මවයි.....
පෝය දොළහකුත් ගෙවුණට
නුඹ තාමත් ගමනාවට
පෙඟුණ චීත්තයෙ යට කොණ
උරය ඇතිල්ලිලා ගෙවුණ
උළුවස්සේ සළකුණ
මගේ බලාපොරොත්තුව
දවසක නුඹ ආවොත්
කියා දේවි.
පත්තිනි අම්මා වාගෙම
නුඹ වෙනුවෙන් පෙරුම් පිරුව,
හෙටත් ඒ විලසටම තියෙනව
නුඹේ කුළුඳුලේ පැටියව
දරාගන්න තිබුණු උකුළ
තවත් නොකිළිටිව තියෙනව
හඳ එළියෙත් සිසිලස නෑ
හුළං හතර වට හැමුවට
ඒ හුළඟට මගෙ හිතගත
නිවෙන්නෙ නෑ
උඹේ
රූපෙ ඇහැ ගැටෙනකන්
මට නිවනක් නෑ...

^සූ

No comments:

Post a Comment

hi