Wednesday, March 27, 2013

(කෙටි කතා) එදා සහ අද ...



ඈගේ බඳ වට අතක් යවා මා ඈ මා අසලට ඇදගත්තෙමි.. තුරුළු වෙමින් හුරතල් වදන් දොඩමින් ඈ සමඟ කොතරම් දුරක් පැමිණියේදැයි නිනව්වක් නොවීය.
විටෙක දෙපා බිම අද්දමින් එකිනෙකා පසුපස එලවමින් තවත් විටෙක කෝච්චියක් මෙන් ඈ ඉදිරියට තල්ලු කරමින් වෙරළ දිගේ ඇවිද්දෙමු, මද සුළඟ අප ගත විඩාව නිවමින් හෙමිහිට හමා ගියේය.අප දෙදෙනා අතර සුළඟට රිංගා යාමට තරම් වත් ඉඩක් නොවීය. ආත්මීය කතාවක සමවැදෙමින් අපි ගමන් කළෙමු. කාලය පිළිබඳ නිනව්වක් නොවීය. අප දැහැන බිඳින්නට සමත්වූයේ එක්වරම හූහඬ නගමින් වේගයෙන් ඇදීගිය දුම්රිය පමණි... සවස හිරු අප රන් හිරු ‍රැසින් නහවමින් ඈත ජල තලයේ කිමිදෙමින් රාත්‍රියට අඳුර එකතුකරමින්, හෙමිහිට සැඟව යන්නට පටන්ගෙන තිබුණේය.අප යන ගමන් දුර වැල්ලේ එරුණ පාසටහන් අප යන ගමනට එකින් එක පාසටහන් එක්කරමින් අප පසුපසින් අපත් සමඟම පැමිණියේය………………………………………………


මා ඈ අතින් අල්ලා බඳවටා අතයවන්නට උත්සාහ කළද ඈ මා අතින් මුදා ඉදිරියට ගමන් කළාය.. ඈ වචනයකුදු කතා නොකොට ඉක්මන් අඩි තබමින් ගමන් කරන්නට විය. මාද ඈ අසලින් ගමන් කරන්නට උත්සාහ ගන්නාවිට ඈ මාතින් එපිටට වෙමින් ගමන් කළාය... මද සුළඟ අප වෙලා ඇදීගියද වෙනදාමෙන් සිහිලස එතුළ නොවීය. හමන සුළඟ අප දෙදෙනා අතරින් ගලා ගියේය. විටින් විට ඇදී යන දුම්රිය දෙසවනට මෙන්ම හිතටද කලබලයක් එක් කරන්නට සමත්විය .සවස හිරු අප රන් හිරු ‍රැසින් නහවමින් ඈත ජල තලයේ කිමිදෙමින් රාත්‍රියට අඳුර එකතුකරමින් හෙමිහිට සැඟව යන්නට පටන්ගෙන තිබුණද ඒ රශ්මිය අද මසිතට විඩාවක් එක් කළේය. බොහෝ දුරක් නිහඬව ඈ පසුපසින් පැමිණි මම මදක් නැවතී පෙර පුරුද්දට මෙන් පසුපස වැල්ලේ ඇදෙන පා සටහන් දෙස හැරී බැලුවෙමි... අප ආදුර පාසටහන් වෙරළෙහි නොවීය. උදාසීන රළ පෙළ ඒ මකා දමා තිබුණි.. මා නැවත ඈදෙස බලන විට ඇගේ පාසටහන් ඈත් සමඟ ඉදිරියට යනු දු‍ටුවෙමි.. මා ඈත ක්ෂිතිජය දෙස බැලීමි..සැඳෑ හිරු ගිලෙන්නට ආසන්නයෙන් තවතවත් මුහුදු දිය මතට පාත් වන්නට විය.. මද වෙලාවකින් අඳුර ගලා එනු ඇත එවිට ඇගේ පාසටහන්ද මා නෙතින් දුරස්ව නොපෙනීයනු ඇත.

^සූ

3 comments:

  1. අපි නම් නාකියි දැන්. ඒත් තාමත් අත් අල්ලාගෙන තමයි මුහුද අයිනෙ ඇවිදින්නෙ :)

    ReplyDelete
  2. ඔන්න මමත් ආවා නිවාඩු පාඩුවේ අනිත්වත් කියවන්නම්

    මම පෙට්ටගම ලියන ලොකු ජෝන්

    ReplyDelete
  3. සාදරයෙන් පිළිගන්නව ලොකු ජෝන් සහ අරුණි ව. ආපු එක ලොකු හයියක්,, ස්තුතියි ඔබල දෙපලටම..

    ^සූ

    ReplyDelete

hi