Monday, April 1, 2013

සිත පාරන මතක..





හිත නොසංසුන් වුණාම  පොඩ්ඩක් තනිවෙන එක තමයි හොඳම දේ. එහෙම හිතන ගමන් මම කොට්ටෙ ඇඳේ විට්ටම හේත්තුකරල ඇඳේ ඇලවුණා.  වෙලාවකට නිහඬතාවත් හරිම ඝෝෂා කාරීයි. ඒ තනිකමේ  නිහඬතාවයේ ස්වභාවය , අපිව ජීවිතේ අඳුරු අහුමුලුවලට නොදැනිම ඇදගෙන යනවා.  කොයිතරම් අමතක කරන්නට හැදුවත් හදවතේ ඇනිච්චි ක‍ටුවක් වගේ ඒවෙලාවට පරණ මතකයන් අපිව පාරනවා. ආදරේ කොයි තරම් පුදුමාකාර දෙයක්ද ...? වෙලාවකට දුකත් වෙලාවකට සතුටත් අරගෙන එන්නෙ අදහාගන්න බැරි විදියට.  අපේ ආදරේ හරියටව හින්දි චිත්‍රපටයක් වගේ කියන එකට ඕනතරම් සාධක මට ඔයාට ඉදිරිපත් කරන්නට පුළුවන්. මං ඔයාට ආදරේ කරන්න පටන්ගත්තෙ ඔයාව දකින්නත් ඉස්සෙල්ල. ඒක කොහොම වුණාද කියල මම අදටත් දන්නෙ නෑ. මම ඔයාට ආදරේ කළේ  වෙන කිසි දෙයක් නිසා නෙවේ ඔයා හින්දමයි.. මොකද මගේ ජීවිතේ බලාපොරොත්තුවුණ සිහින චරිතයේ වැඩි හරියක් ඔයාට තිබුණා.  මේ තරම් ආදරයක් කොහොම මගෙ හිතේ තිබ්බද කියල මටම තේරෙන්නෙ නෑ.. වසර දෙකහමාරක් කියන්නෙ  පුංචි කාලයක් නෙවෙයි . මගේ ජීවිතේ වටිනාම කාලෙන් අවුරුදු දෙකහමාරක් මං ඔයා වෙනුවෙන් කැපකළා.  මට වෙන කිසිම දෙයක් ඕන වුණේ නෑ, ආදරය, නිදහස විතරයි මට ඕන වුණේ . රාගයෙන් තොර ප්‍රේමයක් නැහැයි කියල කිව්වට මට ඔයාගෙ ආදරේ ඇතුළෙ ඒ විරාගික පාරිශුද්ධ මොහොත අනන්ත දැනිල තියෙනවා..
දවසට පැය හත අට කතාකරපු ඔයා.. මං නැතිව ඉන්න බැහැ කියපු ඔයා.. අන්තිමට මට ring cut එකක්වත් දෙන්න බැරිතරම් busy වුණේ කොහොමද කියන්න මට තේරෙන්නෙ නෑ.  ඔයා මාව ටික ටික මගහරිද්දි කෝල් කලාට කතා නොකර ඉඳිද්දි  ඒ ආදරයම පතාගෙන හිටියෙ අන්න ඒනිසයි.  මට දැනුණු ඒ සැහැල්ලුව මට නැතිවෙනවට මං අකමැති වෙච්චි නිසා.  මං ඔයාට කොයිතරම් ආදරේද කියන්නෙ,  මං ඒ කාලෙ මටම පුදුම විදියට ආදරේ කරන්න පටන් ගත්ත.. මොකද මට මොකක්හරි වුණොත් ඒක ඔයාට දරාගන්න බැරි බව මම හොඳාකාරවම දැනගෙන හිටපු නිසා.  ඔයාට මතක නැතිව ඇති වෙසක් එකට කූඩු හදල ඔයාගෙ ගෙදර ඉස්සරහ එල්ලන්න පුංචි බිත්ති කන්දියට නැගපු වෙලේ ඔයාගෙ ඇස් දෙකෙන් කඳුළු කඩන් වැ‍ටුණෙ ඒකෙන් මම බිමට වැටේවි කියන බයට.. ඒ තරම් ආදරයක් ඔයාගෙ හිතේ මට තිබුණ කියල මම හොඳටම දැනගෙන හිටිය ඒ ආදරේ මහ මෙරක් වගේ මට දැනුණා.. අන්න ඒ හිඳයි මං මටම වැඩියෙන් ආදරේ කරන්න පටන් ගත්තෙ. මං කළේ මගේ මුළු ජීවිතේම ඔයාට දීල ඔයාගෙ ආදරේ විතරක් මං ළඟ තියාගෙන සතුටින් හිටපු එක.. ආත්ම හතක් පතාගෙන ආවයි කියල කියපු කේන්දරේ අවුරුදු දෙකහමාරක් යද්දි වෙනස් වුණේ කොහොමද කියල මම දන්නෙ නෑ. ආර්ථිකයට කේන්දරයත් වෙනස් කරන්න පුළුවන් බව මට වැටහෙනකොට ගොඩාක් කල් ගතවෙලා..  ඕනම දෙයක් මගෙත් එක්ක විවෘතව කතා කරපු ඔයා නිහඬව මගේ ජීවිතේ ගැන තීරණය කරපු එක සාධාරණයි කියල ඔයාට හැ‍ඟෙනවනම් කමක් නෑ.  මාස හයක් විතර එක කෝල් එකක්වත් නැතුව ඔයාවම බලපොරොත්තුවෙන් හිටියට ඔයාට ඒක ගානක් නැතිව ඔයා ඉඳපු බව මට තේරුම් ගියේ , මම සම්බන්ධෙ නවත්තමු කියපු ගමන්ම ඔයා කිසි පැකිලීමක් නැතිව "හා" කියපු වෙලාවෙ.  ඊට හරියකටම සතියකට කලින් "ඔයා මාව මගහරිනව පැටියො" කියපු වෙලාවෙ ඔයා  කිව්වෙ මම ඉන්නෙ වැරදි අදහසක කියලයි...ඒත් අද වෙනකල් ඔයා ඔයාට මාව එපාවෙච්චි හේතුව  මොකක්ද කියල මට කිව්වෙ නෑ.. මං දැනුවත්ව ඔයාට කිසි වරදක් කළේ නැහැ ආදරේ ඇරෙන්න.. කවදාවත් කිසිම විදියකින් ඔයාගෙ හිත රිද්දන්නෙ නැතිව ආදරේ කරපු එක මං කරපු වරද වෙන්න ඇති.  
හරියටම ඒ මගේ උපන්දිනේට සති දෙකකට පස්සෙ.. එදායින් පස්සෙ ඔයාට මං එක වචනෙකින්වත් කරදර කළේ නෑ. කෝල් කරල මැසේජ් කරල මේ වෙනකන් කවදාවත් කරදර කළේ නැහැ.  මොකද මම ඔයාට ඒතරම් ආදරේ කරපු නිසා. එදායින් පස්සෙ මට ඔයා නැතිවුණා.. ඒත් එදායින් පස්සෙ ඇත්තටම මට නැතිවුණේ ඔයාව නෙවෙයි , මට අනැතිවුණේ මාව, මං මට ආදරේ කරන්න පටන් ගත්තෙ ඔයා නිසා.. ඔයා මට ආදරේ නැත්නම්  මං මොකටද මට ආදරේ කරන්නෙ. මං මාව ආරක්ෂා කළේ ඔයා වෙනුවෙන්. ඔයා නැතිව මං මාව කවුරු වෙනුවෙන් රකින්නද? මං දන්නව ඔයාට අදටත් මාව මතක් වෙනව ඇති මොකද මං තරම් ඔයාට ආදරේ කරන්නෙ නැතිනිසා...

දැවි දැවී උන්නා කාලයක්
ඔබ ආයෙ එන්නට හිතයි නම්
එන්න නොහිතා යලි වරක්
දෝත පා මා වැළඳ ගන්නම්
පෙර පුරුදු සෙනෙහසින්

නොයෙක් මල් පිපුණා නම් තමයි
හැඩට සුවඳට නෙත් ඉමේ
නමුත් ඔබෙ මුදු සුවඳ නම්නෑ
දැනුණෙ ඒ මල් අතරේ
ඔබ එන්න එනවානම් යලිත්
මගෙ ආදරේ ඔබ පමණමයි

ඔබ අතැර ගියදා සිට දුරක්
සිත මිළින විය අකාලයේ
නෙත කඳුළු වැ‍ටුණා නම් තමයි
මග බලන්හිටියා කල්පයක්
ඔබ එන්න එනවානම් යලිත්
වෙන කවුරුවත් නෑ ජීවිතේ.......

මෙහෙම මං කිව්වට ඔයා ආයෙ කවදාවත් එන්නෙ නැති බව මම දන්නව.. අවුරුදු හයක් තිස්සෙ ඒ අහිමි වුණු ආදරෙන් මිදෙන්න බැරිව මම තවමත් ජීවත්  විඳවනවා. මට ඒ ආදරෙන් මිදෙන්න බැරි ඒ තරම්ම මගේ ආත්මෙත් එක්ක බද්ද වෙච්චි ආදරයක් ඔයා වෙනුවෙන්  මගේ හදවතේ ගොඩගැහිල තිබුණ නිසා කියල ඔයා හොඳටම දැනදැනත් මාව මේ විදියට තනිකරන්න  ඔයාට හේතුවුණ කාරණේ  මොකක්ද කියල කියන්න පුළුවන්නම්  මේ මිහිපිට අපායෙන් මිදිල සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න මට පුළුවන් වෙයි. ඔයාට ආදරේ දීපු   නිසා මගේ මුළු ජීවිතේම  අසරණ වුණා අරමුණක් බලාපොරොත්තුවක් නැති ඔහේ පාවෙන පරඬලා පතක් වගේ එහෙට මෙහෙට ගහගෙන යනවා.. බලාපොරොත්තු පිරිල තිබ්බ ජීවිතය අද හරියට හිස් වෙච්චි අහසක් වගේ පාළුයි. තට්ට තනියම ජීවිතේට වේදනාවෙන්  මුහුණ දෙද්දි දැනෙන වේදනාව මොනවගේද කියල ඔයාට තේරුමක් නැතිව ඇති .. ඔයා නිසා ලස්සනට තිබ්බ ජීවිතේ  නැවත හදාගන්න බැරිතරමට උඩු ය‍ටුඉකුරු වෙලා.  මම කොයි තරම් වේදනා වින්දත් ඒක ඔයාට වැඩක්නැති බව මම දන්නවා. මේ කිසි දේකට ඔයාට මම දොස් කියන්නෙ නෑ .. වරද මගේ ඔයාට මෙතරම්  ආදරය කරපු එක මගේ වරද නෙවෙයිනම්  වෙන මොකක්ද මැණික. තව මාස දෙකකට පස්සෙ ඔයා ඔයාගෙම කැදැල්ලක අලුත් ජීවිතයක් ගතකරන්න යන්ව කියල මට ආරංචි වුණා. ඔයාගෙ සතුට ඔයා හොයාගත්ත මට ඒකට තරහක් නෑ. මම හැමදාම පැතුවෙ ඔයාගෙ සතුට, ඔයා සතුටින් නම් මං ළඟ නොහිටියට කමක් නෑ.. මගේ එකම පැතුම, යන එනකොට කොයි වෙලාවෙ හරි ඔයාව මට දකින්න ලැබෙන්න කියල ඒක මට සතුටක්. ඔයාට මා..........

"ටක් ...!! ටක්...!! පුතා දොර ඇරල මේ තේ එක ගන්න" ..

අම්මගේ හඬින් මගේ කල්පනාව බිඳුණ...මම තේ එක අරගෙන ඇඳේ ඉඳගන්න ගමන්   කම්මැලි කමටත් එක්ක මම රේඩියො එක  දැම්ම , දානකොටම ඇහෙන්නෙ නන්දාමලනීගෙ  හඬ "ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක" අනේ මඳ  මේ සේරම මාව පරණ මතකයටම ඇදගෙන යන්නව . මං තේ කෝප්පෙ මේසෙ උඩින් තියල , රේඩියෝ එක වහල අනික්පැත්ත හැරිලා ආපහු ඇඳට වැ‍ටුණා.

^සූ


16 comments:

  1. උඹට ලස්සන අදහස් මචන් තියෙන්නෙ..
    ඔය කතාව උඹේම ඇත්ත කතාවද කියල මම හරියටම දන්නෙ නෑ. හැබැයි උඹ මගේ ජීවිතේ පහුගිය මාස කීපයෙ වෙච්ච දේවල් ටික ඇස් දෙකෙන් බලන් හිටිය වගේ මෙතන ලියල තියෙන හැටි මට තාම හිතාගන්නවත් බෑ..

    ReplyDelete
  2. නිර්මාණකරුවා සත්‍යයත් පරිකල්පනයත් අතර දෝලනය වන අදහස් සමුදායක් තමයි මචන් නිර්මාණයක් කරන්න භාවිත කරන්නෙ.. අඩුවැඩි වශයෙන් කාටත් පොදු වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩී එතකොට..අදහස් දැක්වීමට තුති.... (Y)

    ReplyDelete
  3. හරිම ලස්සනයි අයියේ :)

    ReplyDelete
  4. ස්තුතියි නංගි

    ReplyDelete
  5. මම මේ පෝස්ට් එක නෙවෙයි ඉස්සල්ලා බැලුවෙ, කවුද මේ නලුවා කියලා...
    සුබ පැතුම් සුරංග !!!

    ReplyDelete
  6. ඉතින් නෙරංජි පොස්ට් එක කියව්වෙ නැද්ද? එහෙනම් මම ෆොටෝ එක අයින් කරන්නම්. ස්තුතියි කමෙන්ට් එකට..

    ReplyDelete
    Replies
    1. කියෙව්වා කියෙව්වා.. හොඳ ලිපියක්

      Delete
  7. ලියමුකෝ දිගටම බලන්න. නෙරංජි අක්කා කිවුවා වගේ මාත් මේ නළුවා බැලුවා මුලින්ම.

    ගල් මුල් නම් මුලින් එන එකක් නෑ එත් පසු කාලිනව එයි. ඒ ගල් වලට නොසැලි ඉන්න ශක්තිය ලැබේවා කියලා පතනවා. හිතට එකඟව නොබියව ලිවිමේ කටයුතුත් කරන්න ලැබේවා. !!! :)

    ReplyDelete
  8. මම ඒවට පැකිලෙන කෙනෙක් නෙවෙයි මදාරා.. ස්තුතියි අදහස් දැක්වීමට, අනිවාර්යයෙන් උත්සහ කරනවා හොඳට ලියන්න...දිරි ගැන්වීමට ගොඩාක් ස්තුතියි.

    ReplyDelete
  9. ලස්සන නිර්මාණයක් .ඕනම කෙනෙක්ට ජීවිතේ කොතනක හරි මුහුණ දෙන්ඩ සිද්ද වෙලාතියන අත්දැකීමක් ලස්සනට නිර්මාණය කරල තියනව ඒක කොච්චර අපූරුද කියනවනම් කතාවෙ ඇතුලට යද්දි කියවන්නාට දැනෙන්නෙ වෙන කෙනෙක්ගෙ නිර්මාණයක් කියවනවා කියන හැඟීමට වඩා ඒක තමන්ගෙ ජීවන අත්දැකීමක් ගැන මතකය ආවර්ජනයක් විදිහට.සුභපතනවා ඉදිරියටත් සාර්ථක නිර්මාණ බිහිකරන්නි ශක්තිය ලැබෙන්න කියල.

    ReplyDelete
  10. keep it up malli...really nice. touching to heart

    ReplyDelete
  11. ලස්සනයි අයියා කතාව... මගේ කතාවත් එක්ක පොඩි සම්බන්ධයක් තියෙනවා වගෙ මට දැනෙනවා.. ඒ කොහොම උනත් කතාව නම් ලස්සනයි.. ලස්සන අදහස් තියෙනවා අයියාට...

    ReplyDelete
  12. U have got better way of writing now than the old days..keep it up dar...nice one tho..!!

    ReplyDelete

hi