Friday, May 31, 2013

මම මම සහ මම


ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් ඒකෙන් මිනිහෙක්ව ඇති කරන්නත නැතිකරන්නත් පුළුවන්, ආදරේ නිසා මිනිහෙක් නැතිවෙච්චි හැටි දැනගන්න ඕනෙනම් මං දිහා බලන්න ලස්සන හීන ගොඩාක් මගේ ජීවිතේ ඉස්සර තිබුණ. ඒ හීන එක එක හැමදාම රසවින්ද ඒ හැම හීනෙකම ප්‍රධාන චරිත දෙකක් තිබුණ ඒ එක්කෙනෙක් ඔයා අනික ම.... ම ..මට පැහැදිලි නෑ , මම හිතුවෙ ඒ මම කියල මම හැමදාම ඒ හීනෙ ඉන්නෙ මමමද කියල හොයන්න ගොඩාක් උත්සාහ ගත්ත ඒත් ඒ හැම අවස්ථාවකදිම අමුහුණ පැහැදිලි වේගෙන එනකොට ඒ හීනෙ බොඳවුණා ඒ කියන්නෙ මගෙ සිතුවිලි දාමය බිඳුණා . එයා මම් එනකල් ඉස්සර බලන් හිටියෙ හරියටම් මෙන්න මෙතන මේ බස් හෝල්ට් එකේ හරියටම මෙන්න මේ හල් පඩිය උඩ, අංශක 45ක කෝණයකට තමයි ඒයා හිටගන්නෙ කකුල් දෙකම එක ළඟ තියාගෙන වම් පැත්තෙ කරට ලොකු හෑන්ඩ්බෑග් එගෙක දාගෙන දෑත් බැඳගෙන. මොකද එතකොට ඈත වංගුවෙන් හැරිල එන මාව එයාට පහසුවෙන්ම දැකගන්න පුළුවන් නිසා. රත්තරං වලට එයා කැමති නෑ එක එක ජාතියෙ මාල වළලු ගොඩාක් එයා ළඟ තිබුණ, මගේ උපන්දිනේට කලිසම් සපත්තු ෂර්ට් අරන් දුන්නට මම එයාට අරන් දුන්නෙ අර ජාතියෙ මාල, වළලු කරාබු වගේ දේවල්. ඒවට එයා ගොඩාක් ආස නිසා නෙවෙයි මට වෙන දෙයක් අරන්දෙන්න තරම් පුළුවන් කමක් තිබුණෙ නැහැ. හැබැයි මම එක සැරයක් එයාට ලස්සනම ලස්සන සායක් අරගෙන දුන්න. ඒත් ඒවෙනකොට එයා ඒ ජාතියෙන සායක් අරගෙන එනිසා ඒකත් ඒතරම් වටිනාකමක් තිබ්බෙ නෑ. මට ඒකාලේ පයින් යන්නවත් සල්ලි අතේ තිබුණෙ නෑ. ඒත් මම එයාට පොඩි පොඩි දේවල් අරන්දෙන්න හම්බවෙන කීය කීය හරි එකතු කළා.

එයා අච්චාරු , අන්නසි , වෙරළු කන්න හරීම ආසයි , ඔය කීයක් හරි එකතු කරන සල්ලි වලින් මම එයාව හම්බ වෙන්න යනකොට ඕව අරගෙන ගියා. වෙරළු වලටනම් සල්ලි ඕන වුණේ නෑ මොකද කැම්පස් එකේ තඩි වෙරළු ගහක් තිබුණ නිසා. ඒව එයා රසකරකර කද්දි මට දැනුණෙ අපරිමිත සතුටක්, .........ඉස්සරනම් මම එද්දි එයා මෙතන හිටිය ඒත් අද නෑ . මට පස්සෙ තෙරුණේ අර හීනෙ තිබ්බ අපහැදිලි රූපෙ මගේ නෙවෙයි කියල . ඒ රූපෙ පැහැදිලි වුණ දවසෙ මට එහෙමම ඇස් ඇරගෙන නිදාගෙන ඉන්නම හිතුණ. නෑ දැන් එයා එන්නෙ නෑ.. නෑ නෑ ,,තවටිකකින් ඒවි එයා මෙතනට ඒවි . වෙරළු අච්චාරු බෑග් එකකුත් අතේ තියාගෙන ඒ මනුස්සය කියවනවා "
ඒ අසරණ මනුස්සය ඒවිදියට දිගටම දිගටම කියවගෙන යද්දි මමත් ඒ කතාවට හැමදාම වගේ අදත් හොඳින් කන් දීගෙන අහගෙන හිටිය. හැමදාම කැම්පස් එක ළඟ බස් හෝල්ට් එකට වෙලා මේ විදියට බලාගෙන ඉන්න මනුස්සය දොඩමළු  වුණේ මා එක්ක විතරයි, මමත් හැමදාම ඒ කතාවට එකම කතාවට සවන් දීගෙන හිටිය.
රීඩ් මාවත ඉස්සරවගේ නෙවෙයි අද හරියට වෙනස් වෙලා. ඒ කාලේ එහෙමෙහෙ සරපු මතකයන් තවම මේ මාවත දිගේ එහෙමෙහෙ දුවනව. මේ කෙළවර ඉඳල එහා කෙළවර බැලුවම මාරගස් වලින් හෙවන වෙච්චි රීඩ්මාවට රෝයල් එකේ වටරවුමට වෙනකන් එක එල්ලෙ පේන්ව.
හැන්දෑවෙ ඉර හැමදාම වගේ තැඹිලිපාටට කොලේජ් හවුස් එක පැත්තෙන් බැහැල යනවා. වසර ගණනකට කලින් වුණා වගේම ඒදේවල් ඒ විදියටම සිද්ධ වෙනව, ඒ වෙලාවෙ අරමනුස්සය හිටියෙ ඉස්සර එයාගෙ පෙම්වතියත් එක්ක කැම්පස් එකේ හිටපු තැන්වල. කිරිහල ගාව, නුගගහයට, ආර්ට් කැන්ටිම, ජිම්මෙක , කෝලමේ ගල් බංකුව, අලිකන , වංක ගිරිය, සිරීපාදෙ, සමර් හට්.. ඇයි සයන්ස් එකේ සල්ගහ යට ..


'මතකද'

අරමනුස්සය මගෙන් අහනව


"කොහොම අමතක කරන්නද ඕයි"

"දැන් තමුසෙ බොනව වැඩී"

“මම නෑ එච්චර නෑ"

“නැත්තෙ කොහිද තමුසෙ හැමදාම බීලනෙ ඉන්නෙ"

“ඇයි තමුසෙ ඔච්චර බොන්නෙ "

“බොන්නෙ මත් වෙන්නනෙ "

“ඒ මොකටද”

“හිඩස පුරෝ ගන්න”

“හිඩස හිඩස අන්න අන්න හරි හි ඩ ස”

“එයා මා එක්ක ඉන්නකොට මට ඔහොම එකක් තිබ්බෙ නෑ “
“හැම දේම පිරිල තිබ්බෙ අඩුගානෙ මට වැඩිපුර කන්න බොන්න අවශ්‍යතාවයක් තිබ්බෙත් නෑ. “

“අවශ්‍යතාවය කියන්නෙ අයිසෙ තමන් හදාගන්න දෙයක්නෙ”
“හරි ඉතින් ඒකත් මේවගේ තමයි “
“මොන වගේද මං එයා එනකන් බලං ඉන්න එක
එයා ආවෙ නැත්නම් මට ආයෙ අර අවශ්‍යාතාවය ඇති වෙනවා.”

“මේ ඕයි... තමුසෙ මෙතන හැමදාම විකාර කියවන්නෙ යනවකො මකබෑවිලා මෙතනින් ...”

කන ළඟම බස් හෝල්ට් එකට ආපු එකෙක් කෑ ගැහුවා
මම එකපාරටම බයවුණා..

“අනේ සොරි අයියෙ,
මේ මේ මනුස්සයගේ කතාවට මම කන්දීගෙන හිටියෙ,”

“මේ මනුස්සය …? තමුසෙට ඔල්මාදෙදෙ ඕයි .. මෙතන් ඉඳන් තනියෙන් කියවන්නෙ
යනවකො යනතැනක මකබෑවිලා..”

එතකොට එයා ආවොත් මට මග ඇරෙයිනෙ ... එයා එයි මම දන්නවා එයා එනවා.....

මම නැගිටල තුම්මුල්ල පැත්තට හැරෙන ගමන් ආපසු බැනපු මනුස්සය දිහා බැලුව .. ඒමනුස්සය පේන්න නෑ, තවමත් වෙනදාවගේම මා එක්ක දොඩමළු වෙච්චි මනුස්සයනම් තවම මග බල බල තනිවම මුමුණනවා.

හෙමින්සැරේ මම ඉස්ස්සරහට ඇවිදගෙන එනගමන් අතට දැනුණ හීතලට බැලුවෙ. වෙරළු අච්චාරු බෑග් එක මගෙ අතේම පොඩිවෙලා .

^සූ

5 comments:

  1. ඉතාම හොඳ පරිකල්පනයක්.

    ReplyDelete
  2. ලස්සන කතාවක්.. සoවේදී හිතකට විතරයි මේ කතාව හොදටම දැනෙන්නෙ.. හරිම ලස්සනයි...

    ReplyDelete
  3. අගෙයි..හැමදාමත් වගේ.. :)

    ReplyDelete

hi